මෙරට ස්වෛරීත්ව බැඳුම්කරවල වටිනාකම පහළට

මෙරට ස්වෛරීත්ව බැඳුම්කරවල වටිනාකම 40% කින් පහළට

by Staff writer 11-02-2021 | 10:04 PM

COLOMBO (News 1st) : මෙරට ස්වරීත්ව බැඳුම්කරවල වටිනාකම 40 % කින් පහළ ගොස් ඇතැයි නැස්ඩැක් ආයතනය පවසයි.

එම ආයතනය සඳහන් කරන්නේ, 2022 හා 2028 අතර ශ්‍රී ලංකාව පියවීමට ඇති ස්වරිත්ව බැඳුම්කරවලට මෙම තත්ත්වය ඇති වී තිබෙන බවයි. නැස්ඩැක් ආයතනය යනු අමෙරිකාව මූලික කරගෙන ක්‍රියාත්මකවන ජාත්‍යන්තර විනිමය හුවමාරු ආයතනයකි. නැස්ඩැක් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වාර්තාව පලකර ඇත්තේ රොයිටර් පුවත් සේවය හා මෝගන් ස්ටැන්ලි ජාත්‍යන්තර මූල්‍ය ආයතනයේ වාර්තා ද සැලකිල්ලට ගනිමින් ය. ශ්‍රී ලංකාවේ ණය ගෙවීමේ හැකියාව අඩු මට්ටමක ඇති බවට පලවන වාර්තා හේතුවෙන් මෙලෙස ස්වෛරීත්ව බැඳුම්කරවල වටිනාකම පහළ යමින් ඇතැයි අදාළ වාර්තාවේ සඳහන් ය. එයට ප්‍රධාන වශයෙන් බලපා ඇති කරුණු 2ක් ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ ඉන්දියාවෙන් ලබාගත් ඩොලර් මිලියන 400 ක විනිමය හුවමාරු පහසුකම පියවීමේ කාලය දීර්ඝ නොකිරීම හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග නව මූල්‍ය පහසුකමක් වෙනුවෙන් එකඟතාවට පැමිණීමට උත්සාහ නොකිරීමයි. මේ වනවිට අමෙරිකානු ඩොලරයට සාපෙක්ෂව රුපියල අවප්‍රමාණය වීම, ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වලින් පහත වැටීම, දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස ණය බර සියයට 100 ආසන්න වීම මෙන්ම රාජ්‍ය ආදායමෙන් සියයට 70 ක් ණය පොලි ගෙවීමට වැයවීමද ශ්‍රී ලංකාව මූල්‍ය වශයෙන් අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දීමට හේතුවී ඇතැයි නැස්ඩැක් වාර්තාව අනාවරණය කර තිබේ. චීනයෙන් ඉල්ලුම් කර ඇති අමෙරිකානු ඩොලර් බිලියන 1.5 ක විනිමය හුවමාරු පහසුකම ලබාගැනීම හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය ලබාගැනීම මේ අර්බුදයෙන් මිදීමට ඇති අවස්ථාවක් බව ද එම වාර්තාවේ සඳහන් ය.