මියන්මාර හමුදා නායකයින්ට අමෙරිකාවෙන් සම්බාධක

මියන්මාර හමුදා නායකයින්ට අමෙරිකාවෙන් සම්බාධක

by Staff writer 11-02-2021 | 9:51 AM

COLOMBO (News 1st) - මියන්මාර හමුදා නායකයින්ට එරෙහිව සම්බාධක පැනවීමට අමෙරිකාව පියවර ගෙන තිබේ.

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්, ඊට අදාළ විධායක නියෝගයට අනුමැතිය ලබා දෙමින් මියන්මාර හමුදා නායකයින්ගෙන් ඉල්ලා සිටියේ පාලන බලය අත්හැර අත්අඩංගුවේ සිටින සිවිල් නායකයින් නිදහස් කරන ලෙසය. මෙම විධායක නියෝගය යටතේ මියන්මාර හමුදා කුමන්ත්‍රණය මෙහෙය වූ හමුදා නායකයන්ට එරෙහිව කඩිනම් සම්බාධක පැනවෙන අතර ඉන් ඔවුන් සම්බන්ධ ව්‍යාපාර මෙන්ම පවුලේ සමීප සාමාජිකයින්ට ද බලපෑම් එල්ල වනු ඇති. අමෙරිකාවේ පවතින මියන්මාර රජයට අයත් අමෙරිකානු ඩොලර් බිලියනයක මුදල්, එරට හමුදා කුමන්ත්‍රණකරුවන්ට ලබා ගැනීමට නොහැකි පරිදි පියවර ගන්නා බව ද ජෝ බයිඩ්න් වැඩිදුරටත් පැවසීය. හමුදා කුමන්ත්‍රණයට එරෙහිව විරෝධතාවල නිරත වූ කාන්තාවකගේ හිසට වෙඩි ප්‍රහාරයක් එල්ලවීමත් සමග අමෙරිකාව එම පියවර ගත්තේ ය. මේ වනවිට මියන්මාරයේ දැවැන්ත විරෝධතා ආරම්භ වී දින 5 ක් ගතව අවසන් ය. විරෝධතාකරුවන්ගේ අරමුණ වන්නේ කුමන්ත්‍රණයකින් මියන්මාර පාලන බලය ඩැහැගත් හමුදාවෙන් රට මුදාගෙන ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපිත කිරීමයි.