ජා - ඇල MOH කොට්ඨාසයෙන්  ආසාදිතයින් 76ක්..

කොරෝනා ආසාදිතයින් 955 දෙනා‌ වාර්තා වූ ප්‍රදේශ මෙන්න...

by Sagarika Chathumali 11-02-2021 | 9:18 AM

COLOMBO (News 1st) : ගෙවුණු දිනයේ මෙරටින් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 963 දෙනෙකු හඳුනාගෙන ඇතැයි, කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

එම ආසාදිතයින් අතරින් 8 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් වන අතර ඉතිරි ආසාදිතයින් 955 දෙනා හඳුනා ගෙන ඇත්තේ, දේශීයවයි. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම පිරිස වන ආසාදිතයින් 298 දෙනා කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන්  තිබේ. ඊට අමතරව, ගම්පහ දිස්ත්‍රික්කයෙන්  (255) ක්,  කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්  (72)ක්, මහනුවර දිස්ත්‍රික්කයෙන්   (71) ක් සහ  කළුතර දිස්ත්‍රික්කයෙන්  (81)ක්  ලෙස ආසාදිතයින්  වාර්තා වී ඇත. අනෙක් ආසාදිතයින් පිරිස වාර්තා වී ඇත්තේ, දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලිනි. ගම්පහ වැඩිම ආසාදිතයින් පිරිස ජා ඇල MOH කොට්ඨාසයෙන් වාර්තාවන අතර එම සංඛ්‍යාව 76කි. අද උදෑසන වනවිට, මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 72,174 ක් වන අතර ඉන් පුද්ගලයින් 65,644 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත. ගෙවුණු දිනයේ සුවය ලබා පිටව ගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 591 ක් වන අතර  තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින්නේ, ආසාදිතයින් 6,155 දෙනෙකු පමණි.

කොරෝන මරණ ගණන ඉහළට... 

ඊයේ දිනයේ මෙරටින් කොරෝනා මරණ 05ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව ද 375 ක් දක්වා ඉහළ ගියේ ය. එම මරණ වාර්තා වූයේ , වත්තල, කොළඹ 5, අලුත්ගම, ගම්පහ සහ වැල්ලම්පිටිය යන ප්‍රදේශවලිනි. මිය ගොස් ඇති පිරිස අතර කාන්තාවන් දෙදෙනකු සහ පිරිමි පුද්ගලයින් තිදෙනෙකු සිටින අතර ඔවන් සියලු දෙනා අවුරුදු 50 ඉක්මවූ පුද්ගලයින් ය. මේ අතර ත්‍රිවිද හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 93 ක් තුළ පුද්ගලයින් 8,918 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින අතර ඊයේ දිනයේ සිදු කර ඇති PCR පරික්‍ෂණ සංඛ්‍යාව 16,493 කි.