මඩොල්සිමදී අතුරුදන් වූ දිනුර සොයා මෙහෙයුම්..

මඩොල්සිම ලෝකාන්තයෙන් අතුරුදන් වූ සිරස TV සහෘදයා සොයා පොලිස් - යුද හමුදා එකාබද්ධ මෙහෙයුම තවදුරටත්..

by Staff writer 08-02-2021 | 12:08 PM

COLOMBO (News 1st) - මඩොල්සිම පුංචි ලෝකාන්තය නැරඹීමට ගිය සිරස TV ත්‍රිමාණ සජීවිකරණ නිර්මාණ ශිල්පී දිනුර විජේසුන්දර මහතා සෙවීමේ කටයුතු තවදුරටත් ක්‍රියාත්මකය.

අතුරුදන් වූ දිනුර විජේසුන්දර මහතා පිළිබඳ කිසිදු තොරතුරක් මෙතෙක් ලැබී නොමැත. වෛද්‍යවරුන් 6 දෙනෙකු ඇතුළු 12 දෙනෙකු විජේසුන්දර මහතා සමග මෙම ගමනට එක්ව තිබුණේ පසුගිය 06 වැනිදායි. අදාළ පිරිස 06 වැනි දා රාත්‍රියේ පුංචි ලෝකාන්තය නරඹා එහි රාත්‍රිය ගත කර තිබේ. කෙසේ වෙතත් එදින අලුයම 3.00 ට පමණ ඇද හැලුණු වර්ෂාව සහ සුළං තත්ත්වය සමග ඔවුන් යළි සිය වාහන වෙත පැමිණි බවත් එහිදී දිනුර විජේසුන්දර තමන් සමග නොසිටි බවත් ගමනට එක් වූ සෙසු පිරිස පවසා ඇති බව අප වාර්තාකරු සඳහන් කළේය. පොලීසිය සහ යුද හමුදාව ඊයේ(07) මෙහෙයුම් දියත් කළේ, දිනුර විජේසුන්දර මහතා පය ලිස්සා පහළට වැටුණු බවට අනුමාන කරමිනි. එම ස්ථානයේ අඩි 75 ක් ප්‍රපාතයට වන්නට මෙහෙයුම් දියත් කෙරුණ ද කිසිදු හෝඬුවාවක් සොයා ගත නොහැකි වුණේ, පවතින දැඩි මීදුම් සහිත තත්ත්වය හේතුවෙනි. කෙසේ වෙතත් අද දෙවැනි දිනටත් අතුරුදන් වූ දිනුර සොයා යුද හමුදාව බිබිල, කොටගම ග්‍රාම සේවා වසම හරහා මෙහෙයුම් ආරම්භ කර තිබේ. ඒ, ශ්‍රී ලංකා යුද හමුදාවේ පාබල සෙබළුන් 36 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ද සමගිනි. හදිසි අවස්ථාවක් ඇති වුවහොත් වහාම ක්‍රියාත්මක වීම සඳහා සෙසු අංශ මේ වනවිට සූදානමින් සිටී. මෙලෙස අතුරුදන් වූ දිනුර විජේසුන්දර 35 හැවිරිදි කළුතර, මග්ගොන පදිංචිකරුවෙකි.