අප්‍රේල් 21 ප්‍රහාරයේ සහරාන් හෂීම් මෙහෙයවූයේ කවුද?

අප්‍රේල් 21 ප්‍රහාරය පසුපස සිටින්නේ ඉන්දියාව ද? - බීබීසීයෙන් අනාවරණයක්

by Staff writer 08-02-2021 | 6:38 PM
අප්‍රේල් 21 ප්‍රහාරය, සහරාන් හෂීම් මෙහෙයවූයේ කවුද? ප්‍රහාරය පිටුපස සිටියේ ඉන්දියාවද? බීබීසී සිංහල සේවය අද මේ පිළිබඳව අනාවරණයක් කර තිබේ. බීබීසී සිංහල සේවය මෙම අනාවරණය කර ඇත්තේ, පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කළ ජනාධිපති කොමිසම හමුවේ ඉදිපත්වූ සාක්ෂි සහ ඒ පිළිබඳව සොයා බැලූ විශේෂ පාර්ලිමේන්තු කාරක සභාවේ සාමාජික නලින්ද ජයතිස්ස හිටපු මන්ත්‍රීවරයා මතු කළ කරුණු මත පදනම්වයි. මොහමඩ් සහරාන් හෂීම් ප්‍රහාරයේ "මහ මොළකරු" හෝ නායකයා ලෙස බොහෝ දෙනා හඳුන්වන නමුත් ප්‍රහාරය මෙහෙයවූ පුද්ගලයා ඔහු නොවන බව විමර්ශන පැවැත්වූ රහස් පරීක්ෂකයින්ගේ මතය වී ඇතැයි, බීබීසී වාර්තාවෙන් පෙන්වාදී තිබේ. එහි දැක්වෙන්නේ, පාස්කු ප්‍රහාරය පිටුපස අදෘශ්‍යමාන හස්තයක මෙහෙයවීමක් ඇතැයි, තමන් ද සැක කරන බව එවක පරීක්ෂණ සිදු කළ දැනට අත්අඩංගුවේ සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් කියා සිටි බවයි. සහරාන් හෂීම් ප්‍රහාර සියල්ල සංවිධානය කළ පුද්ගලයා විය නොහැකි බව විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න මහතා ද ඊට පෙර ජනාධිපති කොමිසම හමුවේ පවසා තිබිණ. ඔහු පෙන්වා දී තිබුණේ, එය මෙහෙය වූ පුද්ගලයා සොයාගත යුතු අතර එම තැනැත්තා හෝ කණ්ඩායම සොයාගන්නා තුරු ඒ පිළිබඳ විමර්ශන අසම්පූර්ණ බවයි. ලෝකයේ කිසිම ත්‍රස්ත ප්‍රහාරයකදී ත්‍රස්ත කණ්ඩායමක නායකයා මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු ලෙස මිය ගොස් නොමැති බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා කොමිසම හමුවේ කියා සිටි බව ද බීබීසී වාර්තාවෙන් සිහිපත් කර තිබේ. මේ අතර පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බැලීමට පත් කළ විශේෂ පාර්ලිමේන්තු කාරක සභාවේ සාමාජික ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා බීබීසී සිංහල සේවයට පවසා ඇත්තේ, ඔහුගේ විශ්වාසය අනුව ප්‍රහාරය පිටුපස සිටින්නේ ඉන්දියාව බවයි. කාරක සභාවේ ඉදිරිපත් වූ සාක්ෂි හා තවත් විමර්ශනාත්මක කරුණු කිහිපයක් මත ඔහු මේ අදහස ඉදිරිපත් කර ඇත. නලින්ද ජයතිස්ස හිටපු මන්ත්‍රීවරයා මතු කරන ප්‍රධාන කරුණු  පහත පරිදි වේ.
  • හදිසි මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල විය හැකි බවට 2019 අප්‍රේල් 04 වෙනි දින ඉන්දීය බුද්ධි අංශ මුලින්ම තොරතුරු ලබාදීම.
  • කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ද ඉලක්කයක් බව බුද්ධි තොරතුරුවල සඳහන්ව තිබුණ ත් වැඩි ආරක්ෂාවක් ඉල්ලා සිටි බව හෝ ලබාදුන් බවක් ආනාවරණය නොවීම.
  • 2019 අප්‍රේල් 08 වෙනි දින ඉන්දීය ආරක්ෂක ලේකම්වරයා ශ්‍රී ලංකාවේ හදිසි එක් දින සංචාරයක නිරත වූ අතර එදින ඔහු වෙනුවෙන් කිසිදු විශේෂ ආරක්ෂක විධිවිධානයක් යොදා නොතිබීම.
  • කටුවාපිටිය දේවස්ථානයට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළ ප්‍රහාරකයාගේ බිරිඳ, 'සාරා' හෙවත් පුලස්තිනී ප්‍රහාරයෙන් අනතුරුව ඉන්දියාවට පලා යාම.
  • ඇය ශ්‍රී ලංකාවට කැඳවා ප්‍රශ්න කිරීමට ශ්‍රී ලංකා බලධාරීන්ගේ උනන්දුවක් නොතිබුණ අතර, ඉන්දියාව ද ඇය භාරදීමට සූදානම් බවක් නොපෙනීම.
  • පොලිසිය මෙතෙක් 'සාරා' ගෙන් ප්‍රශ්න කොට නැති අතර, ජනාධිපති කොමිසම ද ඒ ගැන උනන්දුවක් නොදැක්වීම.
  • ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පැවති බවට නාමල් කුමාර නමැත්තා කළ බරපතළ ප්‍රකාශය සම්බන්ධ පරීක්ෂණ අතරමග ඇනහිටීම.
  • එම "ඝාතන ප්‍රයත්නයට" සම්බන්ධ බව පැවසුණු ඉන්දීය ජාතිකයා මානසික රෝගියෙකු ලෙස පවසා මුදා හැරීම.
  • නාමල් කුමාර නමැත්තාගේ ප්‍රකාශය යොදා ගනිමින් සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීම පිණිස පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකය පවත්වමින් සිටි විමර්ශනය නවතා දැමීම.
නලින්ද ජයතිස්ස හිටපු මන්ත්‍රීවරයා වැඩිදුරටත් පෙන්වාදී ඇත්තේ මෙවැනි දරුණු ප්‍රහාරයක් පිටුපස යුද තාක්ෂණයෙන් පරිපූර්ණ, හොඳ බුද්ධි තොරතුරු ජාලයක් මෙන්ම හොඳ අත්දැකීම් ඇති කණ්ඩායමක් සිටිය යුතු බවයි. නමුත් සහරාන්ට එවැනි ජාලයක් තිබූ බවට කිසිදු සාක්ෂියක් නැතැයි, හිටපු මන්ත්‍රීවරයා බීබීසී සිංහල සේවය සමග වැඩිදුරටත් සඳහන් කර ඇත. මේ අතර පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කර තිබේ.
"විශේෂයෙන්ම ආණ්ඩුව දන්නවා තමන් විසින්ම ගොඩ නගන ලද කොමිෂන් වාර්තා තමන්ටම පාරා වළල්ලක් වෙලා තියෙනවා.පසුගිය ජනාධිපතිවරණ ජන වරමේදී පාස්කු ප්‍රහාරයට සම්බන්ධවුවන්ට දඬුවම් ලබාදිය යුතුයි කියලා බලාපොරත්තුවක් තිබුණා. නමුත් දැනට වාර්තාවී තිබෙන අකාරයට පාස්කු කොමිෂන් සභාව අවසන් වී තිබෙන්නේ සහරාන්ට උඩින් සිටියේ කවුද? මෙම ප්‍රහාරයේ මහමොළකරුවන් කවුද? මේ ප්‍රහාර සැලසුම් කළේ, කවුද කියන එක පිළිබඳ කිසිදු තොරතුරක් නිරාවරණය නොවන අකාරයෙන්. ඒ නිසා ආණ්ඩුව විසින්ම හදන ලද ගෝෂාව අද ආණ්ඩුවට පාරාවළල්ලක් වි තිබෙනවා. ඒ නිසා තමයි මේ කොමිෂන් සභා වාර්තා සැඟවීම සඳහා ආණ්ඩුව ප්‍රයත්නයක් දරමින් ඉන්න බවක් පෙන්නේ."  අනුර කුමාර දිසානායක - නායක (ජනතා විමුක්ති පෙරමුණ)
මාධ්‍යවේදියා - ඇයි මේ ආණ්ඩුව සඟවන්න අවශ්‍යයි ද එහෙම ?
"කටුවාපිටිය පල්ලියේ මරාගෙන මැරෙන බොම්බ ප්‍රහාරය එල්ල කරන ලද පුද්ගලයාගේ බිරිඳ සාරා ඇය ඉන්දියාවට ගොස් තිබෙනවා. නමුත් ආණ්ඩුව කිසි සෙත්ම සාරාව ජනාධිපති කොමිෂන් සභාවට ගෙන ඒම සඳහා උත්සාහයක් දැරුවේ නෑ ජනාධිපතිවරයා ඉන්දියාවට ගියා. ඒ වගේම ඉන්දියාවේ විදෙස් අමාත්‍යවරයා වගේම ආරක්ෂක ලේකම්වරයා අවස්තා ගණනාවක ලංකාවට ආවා. ඒ කිසිදු අවස්තාවක මේ ප්‍රහාරයේ ප්‍රධානම මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරන ලද පුද්ගලයාගේ බිරිඳ ඉන්දියාවේ සිටින බවත් මේ පරික්ෂණය සඳහා ලංකාවට කැඳවිය යුතු බවත් ඔවුන් ඉල්ලීමක් කළේ නෑ. එයින්ම පෙන්නුම් කරනවා මේ අය පාස්කු ප්‍රහාරයේ සමහර තොරතුරු සැබවින්ම ජනතාවට එළිවීම වැළැක්වීම සඳහා යම් ප්‍රයත්නයක් තිබෙන බවත් පෙන්නුම් කරනවා."   අනුර කුමාර දිසානායක - නායක (ජනතා විමුක්ති පෙරමුණ)