අවුන් සාන් සූචී රක්ෂිත බන්ධනාගාරයට

හමුදා අත්අඩංගුවට පත් මියන්මාර් නායිකාව රක්ෂිත බන්ධනාගාරයට

by Sagarika Chathumali 03-02-2021 | 5:14 PM

COLOMBO (News 1st) - පසුගිය දා හමුදා කුමන්ත්‍රණයකින් පසු අත්අඩංගුවට ගත් එරට නායිකා අවුන් සාන් සූචීට චෝදනා ගොනු කරමින් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

මියන්මාර පොලීසිය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ඇය ලබන 15 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ බවයි. අපනයන සහ ආනයන නීතින් උල්ලංඝණය කිරීම සහ නීතිවිරෝධී සන්නිවේදන උපකරණ භාවිත කිරීම ඇයට එරෙහිව එල්ල කර ඇති චෝදනා අතරින් කිහිපයකි. කෙසේ වෙතත් ඇය මේ වන විට රඳවා සිටින ස්ථානය පිළිබඳව පැහැදිලි තොරතුරු වාර්තා වී නොමැත. පසුගිය දා අවුන් සාන් සුචි ඇතුළු දේශපාලන නායකයින් අත්අඩංගුවට ගැනීමෙන් පසු රටේ පාලන බලය සියතට ගත් බව මියන්මාර හමුදාව නිවේදනය කළේ, මියන්මාරය තුළ වසරක කාලයක් සඳහා හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කරමිනි. නොවැම්බර් මාසයේ මැතිවරණයෙන් අවුන් සාන් සූචීගේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ජාතික ලීගය ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ප්‍රමාණවත් ජයග්‍රහණයක් ලැබූ අතර හමුදාව චෝදනා කළේ, පැවති මැතිවරණය වංචනික බවයි. කෙසේ වෙතත්, අවුන් සාන් සුචී ඇතුළු පාලක පක්ෂයේ ඉහළ නිලධාරීන් පිරිසක් මෙලෙස හමුදාව සිය භාරයට ගෙන ඇත්තේ, මැතිවරණයෙන් පසුව මියන්මාර පාර්ලිමේන්තුව අසුන් ගැනීමට නියමිතව තිබූ පසුබිමකදී ය. අඩ සියවසකට අධික කාලයක් පැවති හමුදා පාලනය අවසන් වීමෙන් අනතුරුව එරට පැවති දෙවැනි ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණය ලෙස පසුගිය නොවැම්බර් මාසයේ පැවති මැතිවරණය හැඳින්වේ. 2011 වසරේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශයකට පැමිණෙන තුරු මියන්මාරය තුළ ක්‍රියාත්මක වූයේ, හමුදා පාලනයකි.