ෆතුම් සහ රවිඳුට ස්කොෂ් ජාතික ශූරතා

ෆතුම් ඉසදීන් සහ රවිඳු ලක්සිරි ස්කොෂ් ජාතික ශූරතා දිනා ගනී..

by Staff writer 01-02-2021 | 5:20 PM

COLOMBO (News 1st) : 40 වැනි ජාතික ස්කොෂ් ශූරතාවලිය කොළඹ එස්.එස්.සී. ක්‍රීඩා සමාජ ස්කොෂ් ක්‍රීඩාංගණයේදී පැවැත්විය.

තරග ක්‍රියාත්මක වූයේ පිරිමි විවෘත, කාන්තා විවෘත, කාන්තා සහ පිරිමි ආධුනික, වයස අවුරුදු 35ට වැඩි ඇතුළු අංශ 11කිනි. ක්‍රීඩක ක්‍රීඩිකාවන් 100කට ආසන්න පිරිසක් ඊට සහභාගි විය. තරගාවලි සංවිධායකයින් පැවසුවේ කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් දැඩි සෞඛ්‍යාරක්ෂණ උපදේශ මත එය ක්‍රියාත්මක කළ බවයි. ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා ශ්‍රේණිගත කිරීමේ තරගාවලියක් ලෙස ද මෙය පැවැත්විය. ඒ, අනුව කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා තරග කල් දැමීමෙන් අනතුරුව පැවැති පළමු ශ්‍රේණිගතකිරීමේ ස්කොෂ් තරගාවලිය මෙයයි. ජාතික ශූරිය වන ෆතුම් ඉසදීන් සහ ජාතික කනිෂ්ඨ ශූරිය වන චනිත්මා සිනලි කාන්තා අවසන් තරගයට සුදුසුකම් ලැබුවාය. වට 3ට 2ක් ලෙස ඉන් ජය ගත්තේ ෆතුම් ඉසදීන් ය. ඒ අනුව ඇය අඛණ්ඩව දෙවැනි වරටත් ස්කොෂ් ජාතික ශූරිය බවට පත් වූවාය. මේ අතර පිරිමි කේවල අවසන් තරගයට සුදුසුකම් ලැබුවේ අවස්ථා 7කදී ජාතික ශූරතා දිනා සිටින රවිඳු ලක්සිරි සහ ශමීල් වකීල් අතරයි. එම තරගයෙන් වට 3ට 0ක් ලෙස රවිඳු ලක්සිරි ජය ගත්තේය. ඒ අනුව ඔහු ස්කොෂ් ජාතික ශූරතාව අඛණ්ඩව ජයග්‍රහණය කළ 8 වැනි අවස්ථාව මෙයයි. තරගාවලියේ ජයග්‍රාහකයන්ට ජය සංකේත ප්‍රදානය ඊයේ පැවැත්විය.