අවුන් සාන් සුචී අත්අඩංගුවට

මියන්මාර නායිකා අවුන් සාන් සුචී ඇතුළු පාලක පක්ෂයේ ඉහළ නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට

by Staff writer 01-02-2021 | 6:54 AM

COLOMBO (News 1st) - මියන්මාර නායිකා අවුන් සාන් සුචී ඇතුළු පාලක පක්ෂයේ ඉහළ නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පාලක, ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ලීගයේ මාධ්‍ය ප්‍රකාශකවරයා ඒ බව තහවුරු කළ බවයි. පසුගිය නොවැම්බර් මාසයේ පැවති මැතිවරණයේ වංචා සිදුවූ බවට මියන්මාරයේ ප්‍රබල හමුදාව, සිවිල් රජයට දිගින් දිගටම චෝදනා කළේය. අඩ සියවසකට අධික කාලයක් පැවති හමුදා පාලනය අවසන් වීමෙන් අනතුරුව එරට පැවති දෙවැනි ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණය ලෙස පසුගිය නොවැම්බර් මාසයේ පැවති මැතිවරණය හැදින්වේ. කෙසේ වෙතත්, එම මැතිවරණයෙන් පසුව මියන්මාර පාර්ලිමේන්තුව අද අසුන් ගැනීමට නියමිතව තිබූ පසුබිමකදී අවුන් සාන් සුචී ඇතුළු පාලක පක්ෂයේ ඉහළ නිලධාරීන් පිරිසක් මෙලෙස හමුදා භාරයට ගෙන තිබේ. මේ පිළිබඳව මියන්මාරයේ ප්‍රබල හමුදා පාර්ශවයෙන් මෙතෙක් කිසිදු නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැත.