නැ. ජැටිය: ඉන්දියාව 2019 ගිවිසුම මතක් කරයි

නැගෙනහිර ජැටිය ගැන 2019 ගිවිසුමට අනුව රජය කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරනවා - ඉන්දියාව

by Staff writer 01-02-2021 | 5:12 PM

COLOMBO (News 1st) : කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් මීට පෙර ඇති කරගෙන ඇති මූලික එකඟතා අනුව ක්‍රියාකරන්නැයි ඉන්දියාව අද පස්වරුවේ අවධාරණය කළේ ය.

ඉන්දියාව සිය ස්ථාවරය ප්‍රකාශ කළේ, නැගෙනහිර පර්යන්තය සියයට සියයක් ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ පවත්වාගෙන යන බවට අග්‍රාමාත්‍යවරයා වෘත්තීය සමිතිවලට සහතිකයක් ලබා දී පැය කිහිපයක් තුළයි. අද පස්වරුවේ කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සිහිපත් කළේ, නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා 2019 මැයි මාසයේදී ශ්‍රී ලංකාව , ජපානය සහ ඉන්දියාව අත්සන් කළ සහයෝගිතා ගිවිසුමක් ඇති බවයි. එම ගිවිසුමේ එකඟතා ශ්‍රී ලංකා රජය ඉක්මණින් ක්‍රියාත්මක කරනු ඇතැයි අපේක්ෂා කරන බව එම නිවේදනයේ සඳහන් ය. මීට අමතරව ඒ සඳහා වූ කැපවීම ශ්‍රී ලංකා රජය මෙන්ම නායකත්වය ද විවිධ අවස්ථාවල සහතික කර ඇති බව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සිහිපත් කර තිබේ. ඔවුන් නිකුත් කළ නිවේදනයේ පෙන්වා දී ඇත්තේ මීට මාස 3 කට පෙර නැගෙනහිර පර්යන්තය සඳහා විදේශ ආයෝජකයින් යොදාගෙන ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය ද ලබා දී තිබූ බවයි. මේ වනවිට නැගෙනහිර පර්යන්තයට අදාළව ඇති එකඟතා සහ කැපවීමට අනුකූලව සියලු පාර්ශ්ව ක්‍රියාකරනු ඇතැයි අපේක්ෂා කරන බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය අවධාරණය කර තිබේ.