රිදීමාලියද්දේ භූ චලනයට හේතුව කුමක්ද?

රිදීමාලියද්දේ භූ චලනයට හේතුව කුමක්ද?

by Staff writer 31-01-2021 | 8:53 PM

COLOMBO (News 1st) - රිදීමාලියද්ද, ඇකිරිය ප්‍රදේශයේ අද අලුයම සුළු භූ චලනයක් සිදුව තිබේ.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අනුර වල්පොල මහතා සඳහන් කළේ, අද අලුයම 2.59 ත් 3.00ත් අතර කාලයේ මෙම සුළු භූචලනය සිදුව ඇති බවයි. ඇකිරිය ප්‍රදේශයේ එගොඩගම, අලුත්වත්ත, පල්ලේවෙල, නාරම්ගහ උල්පත සහ කිවුලේහේන යන ගම්මානවලට මෙම භූචලනය දැනී තිබේ. එහි ප්‍රබලත්වය රික්ටර් පරිමාණයේ ඒකක 2කට ආසන්න අගයක සටහන් වේ. පල්ලෙකැලේ, මහකනදරාව, හක්මණ හා බුද්ධංගල භූ කම්පන මධ්‍යස්ථාන හතරේම මෙම භූචලනය සටහන් වී ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ ප්‍රකාශ කළේය. පසුගිය 22 වැනිදා වලපනේ ප්‍රදේශය ආශ්‍රිතව ද රික්ටර් පරිමාණයේ ඒකක 1.8 ක සුළු භූ චලනයක් වාර්තා විය. පසුගිය අගෝස්තු මස 29 වැනි දා සිට මෙම කම්පන තත්ත්වයන් බහුලව වාර්තා වූයේ වික්ටෝරියා ජලාශ ආශ්‍රිත ප්‍රදේශවලිනි. අගොස්තු 29 වැනි දා සිදුවූ කම්පනය රික්ටර් මාපාකාංක 3.5 ක ඉහළ අගයක් ලෙස සටහන්ව තිබූ අතර සැප්තැම්බර් 02 සහ 11 වැනිදා සිදවූ භුකම්පන සටහන්ව තිබුණේ ඒකක 2 කට අඩු අගයන්ගෙනි. එහෙත් පසුගිය නොවැම්බර් මස 18 වැනිදා භුකම්පනය 2.5 ත් 3.5 ත් අතර ඉහළ අගයකට ගොස් තිබුණි. නොවැම්බර් 29 වැනිදා වාර්තා වූ පස්වෙනි කම්පනය සටහන්ව තිබුණේ 1.5 - 2ත් අතර අගයකිනි. පසුගිය දෙසැම්බර් 05 වැනි දා එම ප්‍රදේශය ආශ්‍රිතව කම්පන 4 ක් වාර්තා වූ අතර ඒවා ඒකක 2ට අඩු අගයන්ගෙන් වාර්තා විය. මෙම කම්පව තත්ත්වයන් පිළිබඳව සොයා බැලීමට පත්කළ විද්වත් කමිටු වාර්තාව අනාවරණය කර තිබුණේ මහවැලි ගඟේ වම් ඉවුරේ හුණු ගල් කැනීම් සහ පිපිරීම් බහුල වශයෙන් සිදුවන බවය. වික්ටෝරියා ජලාශයට සමීපයේද එම කැනීම් සිදුවන බව වාර්තාවේ පෙන්වාදී තිබුණි. කමිටුව නිර්දේශ කිහිපයක්ද ඉදිරිපත් කළේය. 01 අඛණ්ඩ සහ දීර්ඝ කාලීන නිරික්ෂණ ක්‍රියාවලියක් ආරම්භ කිරීම 02 රැස්කරන දත්ත හරහා භු විද්‍යාත්මක වෙනස්වීම් භාවිතා කරගනිමින් ජනතාව දැනුවත් කිරීම. 03 මෙම ප්‍රදේශය ආවරණය කරමින් තාවකාලික අධි සංවේදී ජාලයක් ස්ථාපිත කිරීම 04 ගල් කොරිවල සිදුකෙරන පිපිරීම් කලින් එකගවූ නිෂ්චිත කාලසීමාවක සිදුකිරීම 05 මුළු කාලපය ඇතුළත සහ මහවැලි ගගේ වම් ඉවුරේ සිදුකෙරන කැණිම් හා පිපිරීම් පිළිබඳව පිපිරුම් අධ්‍යනයක් ඉතා ඉක්මනින් සිදුකිරීම 06 ප්‍රධාන භූ කම්පණ මධ්‍යස්ථාන හතර යාවත්කාලීන කර 100% ක්‍රියාකාරීත්වයේ පවත්වාගෙන යාම මේ අනුව වික්ටෝරියා ජලාශයට මීටර් 100 ක දුරින් පිහිටි වපසරිය තුළ හුණු ගල් හා ගල් කොරි ඉවත් කිරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කළේය. දිගින් දිගට සිදුවන භූ චලන පිළිබඳවත් ඒවාට පාදක විය හැකි කරුණු පිළිබඳවත් අප දිගින් දිගටම වාර්තා කිරීම් සිදුකළේ පලමු භුචලනයේ සිටයි. අප තවදුරටත් මේ පිළිබඳව කරුණු අණාවරණය කරන්නේ ඉදිරියේදී මීට වඩා බරපතල අනතුරක් සිදුවුවහොත් ඉන් ජනතාව ආරක්ෂා කරගත යුතු නිසයි.