මාර්තු 31සිට ප්ලාස්ටික් තහනමක්..

තනි භාවිත සහ කෙටි කාලීන භාවිත ප්ලාස්ටික් මාර්තු 31 සිට තහනම්

by Staff writer 31-01-2021 | 5:51 PM

COLOMBO (News 1st)  - තනි භාවිත සහ කෙටි කාලීන භාවිත ප්ලාස්ටික් මාර්තු මස 31 වැනිදා සිට තහනම් කරමින් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගැසට් නිවේදන 2ක් නිකුත් කර තිබේ.

ඒ, ජාතික පාරිසරික පනතින් පැවරී ඇති බලතල අනුවයි. ඒ අනුව, යම් ක්‍රියාවලියක්, වෙළෙඳාමක් හෝ කර්මාන්තයක් සඳහා පාවිච්චි කරනු ලබන කෘෂිරසායන ද්‍රව්‍ය ඇසුරුම් කිරීම සඳහා පොලිඑතිලීන් ටෙරප්තැලේට් හෝ පොලිවයිනයිල් ක්ලෝරයිඩ් ද්‍රව්‍ය සඳහා එම තහනම ක්‍රියාත්මක වේ. මධ්‍යම පරිසර අධිකාරිය පවසන්නේ යම් ක්‍රියාවලියක්, වෙළෙඳාමක් හෝ කර්මාන්තයක් සඳහා නිශ්චිත ප්ලාස්ටික් අයිතම කිහිපයක් හැර සෙසු දෑ පාවිච්චි කිරීම තහනම් කර ඇති බවයි. ඒ අනුව ආහාර සහ ඖෂධ ඇසුරුම් කිරීමට භාවිත කිරීම සඳහා හැර ශුද්ධ බර ග්‍රෑම් 20ට සමාන හෝ ඊට අඩු සැෂේ පැකට් තහනම් කෙරෙන අතර හුළංවලින් පිරවිය හැකි සෙල්ලම් බඩු සඳහා ද එම පොලිතින් භාවිතය තහනම් වේ.