ලංකාවේ වතු අදානි අත්පත් කර ගනීවිද?

ඉන්දියාවේ අදානි සමාගම ලංකාවේ වතු අත්පත් කර ගනීවිද?

by Staff writer 31-01-2021 | 9:02 PM

COLOMBO (News 1st) - වතු කම්කරුවන් සඳහා වන අවම වැටුප රුපියල් 1,000ක් වශයෙන් ගැසට් කිරීමට රජය තීරණය කර ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කළේය.

එහි දැක්වෙන්නේ වතු සමාගම් සමග එකඟතාවකට පැමිණීමට අපොහොසත්වූ පසුබිමකදී මෙම තීරණය ගෙන ඇති බවයි. කෙසේවෙතත් පසුගියදා ප්‍රාදේශීය වතු සමාගම් ඉදිරිපත් කළ අවසන් යෝජනාවේ දැක්වුණේ මූලික වැටුප රුපියල් 725ක් ලෙස පවත්වා ගනිමින් වතු කම්කරුවන්ට රුපියල් 1000 ඉක්මවූ දෛනික ආදායමක් උපයාගත හැකි බවයි. එහෙත් මූලික වැටුප රුපියල් 1000ක් කළ යුතු බවට රජය අවධාරණය කිරීමත් සමග වැටුප් මණ්ඩලය හරහා මෙම ගැටලුව විසඳීමේ යෝජනාවක් කැබිනට් මණ්ඩලය අනුමත කළේය. වතු සමාගම් සහ ආණ්ඩුව අතර සේවක වැටුප් සම්බන්ධයෙන් මේ ආකාරයෙන් සංවාදාත්මක තත්ත්වයක් පවතිද්දී අඩු ලාභදායි ප්‍රාදේශීය වැවිලි සමාගම් රජයට පවරාගැනීම සම්බන්ධයෙන් ද අවධානය යොමුව ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත්පත් වාර්තාවේ සඳහන් වේ. අදාළ වාර්තාවේ දැක්වෙන්නේ එලෙස පවරා ගන්නා අඩු ආදායම් ලාභී සමාගම් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සීයට 49ක කොටස් සම්බන්ධයෙන් විවේචනයන්ට ලක්ව සිටින ඉන්දියාවේ අදානි සමාගමට පවරනු ඇතැයි අනුමාන කරන බවයි.