වරාය සේවකයින් තවදුරටත් අකුරට වැඩ..

වරාය සේවකයින් තවදුරටත් අකුරට වැඩ: වෘත්තීය සමිති යෝජනා අධ්‍යයනයට කැබිනට් අනු කමිටුව හෙට රැස්වෙයි

by Staff writer 30-01-2021 | 1:29 PM

COLOMBO (News 1st) - නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් තමන් ජනාධිපතිතුමාට භාරදුන් යෝජනාවලට අද දිනයේ රජය පාර්ශවයෙන් ප්‍රතිචාරයක් අපේක්ෂා කරන බව වරාය වෘත්තීය සමිති පවසයි.

වරාය ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ප්‍රසන්න කළුතරගේ මහතා පැවසුවේ, එසේ නොවුණහොත් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවත් දැඩි කරන බවය. ලබන සඳුදා සිට එම තීරණය ක්‍රියාත්මක කරන බව ද ඔහු පැවසුවේ ය. මේ අතර වරාය අමාත්‍යාංශයේ ලේකම් යූ.ඩී.සී. ජයලාල් මහතා සඳහන් කළේ, අදාළ යෝජනාවලිය අධ්‍යයනය කරමින් සිටින බවයි. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක මහතා සඳහන් කළේ, වෘත්තීය සමිති ඉදිරිපත් කළ යෝජනා සාකච්ඡා කිරීමට ඒ සඳහා පත් කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව හෙට(31) රැස්වෙන බවයි. කඩිනමින් එම වාර්තාව අමාත්‍ය මණ්ඩලයට ඉදරිපත් කිරීමට සැලසුම් කර ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය. මේ අතර කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පිළිබඳව වියත් මග සංවිධානයේ ස්ථාවරය පිළිබඳව අද පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතාගෙන් ප්‍රශ්න කළේ ය. නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට පැවරීමට ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් ඊයේ ත්‍රීකුණාමලය ප්‍රදේශයේ ජනතාව පෙත්සමකට අත්සන් කළේ ය. මෙය සංවිධාන කර තිබුණේ, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය සහ නැගෙනහිර හඩ සංවිධානය ඊයේ ත්‍රිකුණාමලයේදී මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.