by Hashini De Mel 30-01-2021 | 7:27 AM
COLOMBO (News 1st) - 73 වන ජාතික නිදහස් දිනයේ පෙරහුරු කටයුතු අද ආරම්භ වේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, පෙර පුහුණුවීම් කටයුතු හේතුවෙන් අද (30) සිට ලබන 03 වැනි දා පෙරවරු 6.00 සිට පස්වරු 1.00 දක්වා නිදහස් චතුරශ්‍රය අවට මාර්ග කිහිපයක විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බවය.
නිදහස් උත්සවය යෙදෙන ලබන 04 වැනි දා අලුයම 4.00 සිට පස්වරු 1.00 දක්වා ද එම රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක බව ඔහු ප්‍රකාශ කළේ ය.
ඒ අනුව නිදහස් චතුරශ්‍රය අවට මාර්ග කිහිපයක් සම්පුර්ණයෙන් වසා තැබෙන අතර තවත් මාර්ග කිහිපයක රථ වාහන ධාවනය සීමා කෙරෙනු ඇති.
එම කාලය තුළ ගමන් කිරීමට විකල්ප මාර්ග කිහිපයක් ද හඳුන්වා දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
නිදහස් චතුරශ්‍රය, නිදහස් මාවත හා එම මාවතට ඇතුළු වන අනෙකුත් මාර්ග ඒ අනුව ගමනාගමනයට සීමා වේ.
කොළඹ සොයිසා වටරවුමේ සිට ඉදිරියට පැමිණෙන වාහනවලට නෙළුම් පොකුණ හන්දියෙන් ඉදිරියට නිදහස් චතුරශ්‍රය දෙසට යාමට අවස්ථාව හිමි නොවනු ඇත.
බොරැල්ලේ සිට හෝර්ටන් පෙදෙස ඔස්සේ නෙළුම් පොකුණ දෙසට එන වාහන විජේරාම මාවතෙන් දකුණට හැරී හෝර්ටන් පෙදෙස, පුරහල ඔස්සේ යුන්යන් පෙදෙස හෝ ඩීන්ස් පාර හරහා කොටුවට ගමන් කිරීමේ හැකියාව තිබේ.
විශේෂයෙන් 120 හා 122 ගමන් මාර්ගවල ගමන් කරන වාහන සඳහා විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබේ.
කෙසේ වෙතත් ගාලු පාරේ, කොටුව, පිටකොටුව දෙසට එන වාහන සුපුරුදු පරිදි ගමනාගමනය සිදු වේ.
කොළඹ පරණ පාර, නුවර පාර, මීගමුව පාර හා කටුනායක අධිවේගී මාර්ගයෙන් කොටුව, පිටකොටුව දෙසට පැමිණෙන වාහන සාමාන්‍ය පරිදි ගමනාගමනය සිදු වන අතර එම මාර්ගවල රථ වාහන ධාවනය සීමා වන්නේ නිදහස් චතුරශ්‍රය හා ඒ ආශ්‍රිත ප්‍රදේශවල පමණි.
[audio mp3="https://cdn.newsfirst.lk/sinhala-uploads/2021/01/30-01-AJITH-ROHANA-CUT-ROAD-MAP-TAKE-online-audio-converter.com_.mp3"][/audio]