ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කෝප් කමිටුව හමුවට කැඳවයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලබන 11 වැනි දා කෝප් කමිටුව හමුවට

by Staff writer 29-01-2021 | 4:09 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පෙබරවාරි 11 වැනි දා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවා තිබේ.

කෝප් කමිටු සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා සඳහන් කළේ, පෙබරවාරි 12 වැනි දා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ද කමිටුව හමුවට කැඳවන බවය. එහිදී මෙරට ළමා අපයෝජන සම්බන්ධයෙන් වන විශේෂ විගණන වාර්තාව සැලකිල්ලට ගැනෙනු ඇති. මේ අතර මහනුවර දිස්ත්‍රික්කයේ නාය යෑම් අධිඅවදානම් කලාපයන්හි ජීවත්වන ජනතාව නැවත පදිංචි කිරීමට අදාළ ව්‍යාපෘතියේ ප්‍රගතිය ලබන මස 24 වැනි දා විමසා බැලීමට නියමිත බව කෝප් කමිටුව සඳහන් කළේ ය. ශ්‍රී ලංකාවට ප්ලාස්ටික් ආනයනය කළමනාකරණය කිරීම සහ ඒවා මෙරට තුළ භාවිතය පිළිබඳව විශේෂ විගණන වාර්තාවක් පෙබරවාරි 26 වැනි දා සැළකිල්ලට ගැනීමට නියමිත බව කාරක සභාවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා වැඩිදුරටත් පැවසුවේ ය.