'පොඩි ලැසි' තවදුරටත් රැඳවුම් භාරයේ

'පොඩි ලැසි' තවදුරටත් රැඳවුම් භාරයේ

by Staff writer 29-01-2021 | 4:36 PM

COLOMBO (News 1st) - සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන අරුමාහන්දි ජනිත් මධුසංක හෙවත් 'පොඩි ලැසි' තවදුරටත් රැඳවුම් භාරයේ සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දී තිබේ.

ඒ, නඩුව ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා හමුවේ අද කැඳවූ අවස්ථාවේදීය. ඒ පිළිබඳ විමර්ශන අවසන් කර නීතිපතිවරයා වෙත වාර්තාව යවා ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කියා සිටියේ ය. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ, නීති විරෝධි ගිනි අවි සහ මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව මහාධිකරණයේ අධිචෝදනා ගොනු කිරීමට කටයුතු කරමින් සිටින බවයි. බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් කිහිපදෙනෙකු ඔවුන්ට ලැබෙන පහසුකම් ප්‍රමාණවත් නොවන බව පවසා උපවාසයක් ආරම්භ කර තිබු අවස්ථාවක ඒ පිළිබඳ සොයා බැලීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරුන් කිහිපදෙනෙකු ඉකුත් ජූනි මස 26 වැනි දා බූස්ස බන්ධනාගාරයට ගොස් තිබුණි. එහිදී ධර්මකීර්ති තාරක පෙරේරා විජේසේකර හෙවත් 'කොස්ගොඩ තාරක' සමග එක්ව 'පොඩි ලැසී' ජනාධිපතිවරයාට ආරක්ෂක ලේකම්වරයාට සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන්ට මරණ තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් නඩුව පවරා තිබේ. පසුගිය ඔක්තෝබර් 6 වැනි දා 'පොඩි ලැසි' අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර පරීක්ෂණ සඳහා සැකකරු දින 90 ක රැඳවුම් භාරයට පත් කරන්නැයි ඉල්ලා සිටියේ ය.