AstraZeneca Covishield එන්නත අද දිවයිනට

AstraZeneca Covishield කොරෝනා එන්නත් ලක්ෂ 5 ක් අද මෙරටට: එන්නත්කරණය හෙට සිට ඇරඹේ

by Staff writer 28-01-2021 | 6:59 AM

COLOMBO (News 1st) - ඉන්දීය රජයෙන් මෙරටට පිරිණමන AstraZeneca Covishield එන්නත් මාත්‍රා ලක්ෂ 5 ක් අද පෙරවරු 11.00 ට දිවයිනට ළඟා වනු ඇති.

කොවිඩ් එන්නතක් ගෙන්වීම පිළිබඳ කමිටුවේ සභාපති ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතා පැවසුවේ, එම එන්නත් තොගය පුද්ගලයින් 250,000 කට එන්නත් කළ හැකි බවයි. හෙට සිට කොරෝනා මර්දන එන්නත්කරණය ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ ය. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත හේරත් මහතා පැවසුවේ, කොළඹ ආශ්‍රිත ප්‍රධාන රෝහල් 6 කදී සෞඛ්‍ය කාර්යය මණ්ඩල සඳහා එන්නත් ලබාදීම සිදුවන බවයි. දිනක් තුළ රෝහල් කාර්යය මණ්ඩලයෙන් හතරෙන් එකක කොටසකට එම එන්නත ලබාදෙන බව ඔහු ප්‍රකාශ කළේ ය. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පැවසුවේ, අනෙකුත් දිස්ත්‍රික්ක සඳහා ද කොරෝනා එන්නත ලබාදීම සඳහා වන සාකච්ඡාවක් හෙට පැවැත්වෙන බවය. මේ අතර කොරෝනා එන්නත්කරණයේ පළමු අදියර සතියක් තුළ අවසන් කරන බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කළා ය. කොවිඩ්-19 එන්නත පිළිබඳ මෙරට ජනතාවගේ ආකල්ප විමසා බැලීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සිදු කළ සමීක්ෂණයේ වාර්තාව නිකුත් කර තිබේ. එම වාර්තාවට අනුව කොරෝනා එන්නත ලබාගන්නා බවට තහවුරු කර ඇති සෞඛ්‍ය සේවකයින්ගේ ප්‍රතිශතය 57.4% කි. ඔවුන් අතරින් 37% ක ප්‍රතිශතයක් ප්‍රකාශ කර ඇත්තේ, කොරෝනා එන්නතක් ලබා ගැනීම අවිනිෂ්චිත බවය. තව ද කොරෝනා එන්නත් ලබාදෙන්නේ නම් එන්නත්කරණයට යොමුවන එම සමීක්ෂණය සඳහා යොදාගත් සමස්ත නියැදියෙන් 54 % ක ප්‍රතිශතයක් ප්‍රකාශකර තිබේ. සමස්ත නියැදියෙන් 38 % ක ප්‍රතිශතයක් ප්‍රකාශ කර ඇත්තේ එන්නතක් ලබාගැනීම අවිනිෂ්චිත බවයි. එන්නත්කරණයට යොමු නොවන බවට ප්‍රකාශ කර ඇති ප්‍රතිශතය 8 % කි.