කොරෝනා එන්නත රැගත් ගුවන් යානය දිවයිනට

කොරෝනා එන්නත රැගත් ගුවන් යානය දිවයිනට

by Staff writer 28-01-2021 | 11:42 AM

COLOMBO (News 1st) - ඉන්දීය රජයේ ප්‍රදානයක් ලෙස මෙරටට ලැබෙන "ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා - කොවිෂීල්ඩ්" එන්නත් තොගය මෙරටට ළඟා විය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කටුනායක ගුවන්තොටුපොළේදී එම තොගය නිල වශයෙන් භාරගැනීම සිදු විණි. "ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා - කොවිෂීල්ඩ්" එන්නත නිෂ්පාදනය කරනු ලබන්නේ ඉන්දියාවේ සීරම් ආයතනයයි. මෙරට තුළ හදිසි භාවිතය සඳහා "ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා - කොවිෂීල්ඩ්" කොවිඩ් එන්නත යොදා ගැනීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය පසුගිය දා අනුමැතිය ලබා දුන්නේ ය. ඒ අනුව එම එන්නතෙන් මාත්‍රා ලක්ෂ 5 ක් අද පෙරවරුවේ නවදිල්ලි නුවර සිට බොම්බායි හරහා කටුනායකට රැගෙන ආවේ ඒ අයි 281 නමැති ශීතාගාර පහසුකම්වලින් සමන්විත ගුවන් යානයෙනි. පුද්ගලයින් 250,000 කට එන්නත් කළ හැකි අදාළ එන්නත් තොගයේ බර කිලෝග්‍රෑම් 1323 කි. මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා ද එක්ව සිටියේ ය. ඒ අනුව හෙට සිට මෙරට කොවිඩ් එන්නත්කරණ ආරම්භ වනු ඇති. ඒ අනුව ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයන්ට පළමුවත් කොවිඩ් මර්දන කටයුතු හා සම්බන්ධ ව සිටින ආරක්ෂක අංශ සහ පොලිස් සාමාජිකයන්ට දෙවනුවත්, වයස අවුරුදු 60 ට වැඩි පුරවැසියන්ට තුන්වෙනුවත් වශයෙන් එන්නත් ලබාදීමට නියමිතය. එන්නත ලබාගන්නා පුද්ගලයන් ඒ සඳහා තම ලිඛිත කැමැත්ත පළ කළ යුතු වේ. ඉන්දිය රජයෙන් ප්‍රදානයක් ලෙස හිමිවන කොවිෂීල්ඩ් එන්නත් තොගයට අමතරව චීනයෙන් සිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 3ක් ද ප්‍රදානයක් ලෙස ලැබීමට නියමිත අතර රුසියාවෙන් ද එන්නත් මාත්‍රා තොගයක් ප්‍රදානයක් ලැබීමට නියමිතය. තවත් එන්නත් ප්‍රමාණය සපුරාලීම සඳහා එන්නත් මිලදී ගැනීම සඳහා ද රජය දැනටමත් සූදානම් වෙයි.