අමෙරිකාවේ ආරක්ෂක ප්‍රධානීයාගෙන් අනතුරු ඇඟවීමක්...

අමෙරිකානු ජනාධිපතිවරණ ප්‍රතිඵලයත් සමග ගෘහස්ත ත්‍රස්තවාදි හිස එසවිය හැකි බවට අනතුරු ඇඟවීමක්...

by Staff writer 28-01-2021 | 7:56 AM

COLOMBO (News 1st) - නොවැම්බර් මස පැවති අමෙරිකානු ජනාධිපතිවරණයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් අසතුටු වන්නන්ගෙන් එරට තුළ ත්‍රස්තවාදයක් නිර්මාණය විය හැකි බවට අමෙරිකානු ආරක්ෂක ප්‍රධානීයා අනතුරු ඇඟවීම් කර තිබේ.

අමෙරිකානු ආරක්ෂක ප්‍රධානීයා ප්‍රකාශ කළේ, අමෙරිකානු ජනාධිපතිවරණ ප්‍රතිඵලයත් සමග ගෘහස්ත ත්‍රස්තවාදි හිස එසවිය හැකි බවය. පසුගිය ජනවාරි 6 වැනි දා ට්‍රම්ප් ආධාරකරුවන් කැපිටල් හිල් ගොඩනැගිල්ලට එල්ල කළ ප්‍රහාරයත් සමග අන්තවාදීන් ධෛර්යමත් වීමට ඉඩ ඇති බව අමෙරිකානු ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව පැවසුවේ ය. වත්මන් අමෙරිකානු රජය බලයට පත්වීම ගැන කලකිරීමෙන් සිටින පුද්ගලයින් ගෙන් දැඩි තර්ජනයක් ඇති බවට උපදේශකයින් අනතුරු ද අඟවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් විය. කෙසේ වෙතත් නිශ්චිත කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් තොරතුරු මෙතෙක් වාර්තා වී නොමැත. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ධවල මන්දිරය ඉදිරිපිටට රැස්වූ දහස් ගණනක් අමෙරිකානුවන් අමතමින් මැතිවරණය ඔහුගෙන් සොරකම් කළ ඇතැයි ප්‍රකාශ කළ බවයි. එමෙන්ම ඒ වෙනුවෙන් සටන් නොකළ හොත් ඔබට රටක් ඉතුරු නොවන බවට ද හිටපු ජනපති ට්‍රම්ප් ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් විය. අනතුරුව කැපිටල් හිල් ගොඩනැගිල්ලට ප්‍රහාරයක් එල්ල වූ අතර එහිදී පොලිස් නිලධාරියෙකු ඇතුළු පස්දෙනෙකු මිය ගියහ. හිටපු අමෙරිකානු ජනපති ඩොන්ල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් දෝෂාභියෝගයක් නිකුත් කර ඇති අතර එය ලබන මාසයේදී සෙනෙට් සභාවේදී විභාගයට ගැනීමට නියමිත වේ.