චීනය ත්  ශ්‍රී ලංකාවට එන්නත් දෙන්න ලෑස්තියි

චීනෙනු ත් ශ්‍රී ලංකාවට COVID එන්නත් ප්‍රදානයක්

by Sagarika Chathumali 27-01-2021 | 1:37 PM

COLOMBO (News 1st) : චීනයේ නිෂ්පාදනය කරන Sinopharm කොවිඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 3 ක් ශ්‍රී ලංකාවට නොමිලේ ලබාදෙන බව කොළඹ චීන තානාපති කාර්යාලය අද නිවේදනය කළේ ය.

තානාපති කාර්යාලය නිකුත් කල නිවේදනයේ දැක්වුණේ, පෙබරවාරි මාසයේ මැද වන විට අදාළ එන්නත් තොගය ශ්‍රී ලංකාවට ලැබෙනු ඇති බවයි. චයිනා නැෂනල් පාමසූටිකල් පුද්ගලික සමාගම නිපදවන සයිනොපාම් එන්නත රටවල් ගණනාවක තුන්වන අදියරේ පරීක්ෂණ මට්ටම පසුකර ඇතැයි තානාපති කාර්යාලය නිකුත්කල නිවේදනයේ සඳහන් ය. එහි දැක්වෙන්නේ මෙම පරීක්ෂණවලදී කොවිඩ් ආසාදනයවීම වැළැක්වීම සම්බන්ධයෙන් 79% ත් 86 %ත් අතර ඵලදායීතාවයක් පෙන්වා ඇති බවයි. එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සර්බියාව, ඊජිප්තුව, බහරේන්, ජෝර්දාන්, ඉරාකය, පාකිස්ථානය හා චීනය ඇතුළු රටවල් කිහිපයක් මෙම එන්නත ජනතාවට ලබාදීම සඳහා අනුමැතිය ලබාදී තිබේ. මේ වන විට Sinopharm එන්නත් මිලියන 20 ක් ලොවපුරා බෙදා හැර ඇති අතර බරපතළ ප්‍රතික්‍රියා දැක්වූ අවස්ථාවක් මෙතෙක් වාර්තාවී නොමැති බව තානාපති කාර්යාලය නිකුත්කළ නිවේදනයේ සඳහන් ය. එහි වැඩිදුරටත් දැක්වුණේ, චීනයේ නිෂ්පාදිත මෙම එන්නත සීෂෙල්ස් ජනාධිපතිවරයා, බහරේන් අගමැතිවරයා, ජෝර්දාන අගමැතිවරයා, එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ උප ජනාධිපතිවරයා හා අගමැතිවරයා මෙන්ම සර්බියාවේ සෞඛ්‍ය ඇමතිවරයා ද ලබාගෙන ඇති බවයි. මේ අතර ඉන්දීය රජය මෙරටට පිරිනමන AstraZeneca Covishield එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් රැගත් ගුවන් යානය හෙට (28) පෙරවරු 11ට මෙරටට ළඟා වීමට නියමිතව තිබේ. එලෙස ලැබෙන එන්නත් තොගය පුද්ගලයින් 250,000 දෙනෙකු වෙත ලබා දීමට නියමිතව ඇත.