කොවිඩ් එන්නත හෙට දිවයිනට

ඉන්දියාවේ ඇස්ට්‍රා සෙනෙකා එන්නත හෙට දිවයිනට

by Staff writer 27-01-2021 | 7:33 AM

COLOMBO (News 1st) - ඉන්දියාවේ නිෂ්පාදිත ඇස්ට්‍රා සෙනෙකා කොරෝනා මර්දන එන්නත හෙට(28) මෙරටට රැගෙන ඒමට නියමිතය.

කටුනායක ගුවන්තොටුපොළේ ඉන්දීය ගුවන් සමාගමේ කළමනාකරු සාරනාත් පීරිස් මහතා පැවසුවේ, එන්නත රැගත් ගුවන් යානය හෙට පෙරවරු 11.00ට පමණ මෙරටට ළඟා වීමට නියමිත බවයි. මේ අතර, ඇස්ට්‍රා සෙනෙකා කොරෝනා මර්දන එන්නත මෙරටට ගෙන ඒමත් සමග අනිද්දා(29) සිට එන්නත්කරණ කටයුතු කඩිනමින් ආරම්භ කරන බව, කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය. ඇය සඳහන් කළේ, පළමුවෙන් එන්නත් ලබා දෙන්නේ ආසාදිතයින් සම්බන්ධ ඉදිරි පෙළ කටයුතුවල නිරත සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සහ ත්‍රිවිධ හමුදාව ඇතුළු පිරිස් සඳහා බවයි. ඒ අනුව, සෞඛ්‍යය කාර්ය මණ්ඩලයේ 155,000ක් සඳහා සහ ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ 127,000ක පිරිසක් සඳහා පළමු අදියරේ එන්නත්කරණය සිදු කෙරෙනු ඇති බව, ඇය පැවසුවාය. ඉන්දියාවේ නිෂ්පාදිත ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත්වලට මේ වනවිට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය හිමිව ඇති අතර රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් 5 එන්නත සඳහා ද රජය එම අධිකාරියෙන් අනුමැතිය ඉල්ලා තිබේ. රජය වෙනුවෙන් එම රුසියානු එන්නත සම්බන්ධයෙන් කටයුතු කරන්නේ රාජ්‍ය ඖෂධ නීතීගත සංස්ථාවයි. එම සංස්ථාව රුසියානු ස්පුට්නික් 5 එන්නත මෙරට හදිසි භාවිතය සඳහා ලියාපදිංචි කිරීමට අදාළ ලියකියවිලි ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙත පසුගිය 08 වැනිදා ඉදිරිපත් කර තිබුණි.