ඇමති ජී. එල් ඇතුළු පිරිසකට නොතිසි

අධ්‍යාපන ඇමති ඇතුළු පිරිසකට අභියාචනාධිකරණයෙන් නොතිසි

by Staff writer 27-01-2021 | 6:42 PM

COLOMBO (News 1st) - ලබන මාර්තු 10 වැනි දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ඇතුළු පිරිසකට අභියාචනාධිකරණය අද නොතීසි නිකුත් කර තිබේ.

ඒ, දිස්ත්‍රික් කෝටා ක්‍රමය සහ නව හා පැරණි නිර්දේශ ලෙස කරන ලද වර්ගීකරණය මත පදනම්ව විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කිරීමට බලධාරීන් ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වන රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහායි. අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක වන සනුමි තරින්ද්‍යා ද සිල්වා නැමැති සිසුවිය ගොනු කර තිබූ පෙත්සම කැඳ වූ අවස්ථාවේදී පෙත්සම්කාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කළ කරුණු සලකා බැලූ සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන විනිසුරු මඩුල්ල එම නියෝගය කර තිබේ. පෙත්සමේ සෙසු වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබූ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්යය සම්පත් අමරතුංග, විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත යන මහත්වරුන් මෙන්ම නීතිපතිවරයාට ද නොතීසි නිකුත් කිරීමට විනිසුරු මඩුල්ල නියෝග කරනු ලැබුවේ ය. 2019 වසරේදී අපොස උසස්පෙළ විභාගයට ජීව විද්‍යා අංශයෙන් පෙනී සිට වෛද්‍ය පීඨයට ඇතුළත් වීමට අපේක්ෂා කළ තමන්ට එම නව ක්‍රමවේදය නිසා බලවත් අසාධාරණයක් සිදු වූ බව නීතිඥ දිනේෂ්ද සිල්වා මහතා මගින් ගොනු කර තිබූ පෙත්සමෙන්, පෙත්සම්කාරිය අධිකරණය පෙන්වා දී තිබුණි. එබැවින් මෙම ක්‍රමයන් මත පදනම්ව විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කර ගැනීම වළක්වන රීට් ආඥාවක් නිකුත් කරන ලෙසත් විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතනවලට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා නව ක්‍රමවේදයක් සකස් කරන ලෙස වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කාරිය අධිකරණයෙන් ඉල්ලා තිබේ. එසේම තමන් කුමන හෝ විශ්වවිද්‍යාලයක වෛද්‍යපීඨයකට ඇතුළත්කර ගන්නා ලෙසට වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන්නැයි පෙත්සම්කාරිය අධිකරණයෙන් ඉල්ලා ඇත.