COVID එන්නත මුලින් ම විදින්නේ කාට ද?

ලංකාවට එන COVID එන්නත මුලින් ම විදින්නේ කාට ද?

by Sagarika Chathumali 26-01-2021 | 4:41 PM

COLOMBO (News 1st) : කොරෝනා මර්දන එන්නත ලද වහාම මෙරට එන්නත්කරණ වැඩසටහන ආරම්භ කරන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කෝවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.

රාජ්‍ය අමාත්‍යවරිය මේ බව සඳහන් කළේ, අද (26) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති මාධ්‍ය හමුව අමතමිනි. මෙම සතිය තුළ Oxford–AstraZeneca එන්නත මෙරටට ලැබීමෙන් අනතුරුව එන්නත්කරණ කටයුතු ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි ද ඇය එහිදී පැවසුවා ය. එන්නත්කරණය සඳහා ප්‍රමුඛතා කණ්ඩායම මේ වනවිටත් හඳුනා ගෙන ඇති අතර ඒ යටතේ කෝවිඩ් මර්දනයේදී ඉදිරි පෙළ කටයුතු කරන පිරිස් වෙත පළමු අදියර යටතේ එන්නත් ලබා දෙනු ඇති. රාජ්‍ය අමාත්‍යවරිය පැවසුවේ, ඒ යටතේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පිරිස්, ත්‍රිවිද හමුදාව සහ පොලීසිය නිලධාරීන්ට එන්නත ලබා දෙනු ඇති බවයි. පළමු එන්නත මාත්‍රාව ලබා දී සති තුනකින් දෙවන මාත්‍රාව ලබා දීමට නියමිතයි. තවද කොවැක්ස් පහසුකම යටතේ 20%ක එන්නත් ප්‍රමාණයක් ලැබීමට නියමිත බවත් ඊට අමතරව අවශ්‍ය කරන එන්නත් ප්‍රමාණය මිලදී ගෙන ප්‍රමුඛතා ලැයිස්තුව අනුව ජනතාවට ලබා දීමට රජය සූදානමින් පසුවන බව ත් ඇය එහිදී වැඩිදුරටත් සඳහන් කළා ය.