මෙරට නවතම කොරෝනා තත්ත්වය

ගෙවුණු දින‌යේ කොරෝනා ආසාදිතයින් වාර්තා වූ දිස්ත්‍රික්ක

by Sagarika Chathumali 25-01-2021 | 10:47 AM

COLOMBO (News 1st) : ගෙවුණු පැය 24 තුළ මෙරටින් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 843 දෙනෙකු හඳුනාගෙන ඇතැයි, කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

එම මධ්‍යස්ථානය උපුටා දක්විමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ, ඉන් ආසාදිතයින් 841 දෙනෙකු දේශීයව හඳුනා ගෙන ඇති බවයි. ඉතිරි ආසාදිතයින් දෙදෙනා වාර්තා වී ඇත්තේ, විදෙස්ගතව සිට පැමිණි ලාංකිකකයින් අතරිනි. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිස කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 480කි. ඊට අමතරව, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 86 ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 72 ක් ලෙස වාර්තා වී තිබේ. අනෙක් ආසාදිතයින් පිරිස වාර්තා වී ඇත්තේ, දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලිනි. ඒ අනුව මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 58430ක් දක්වා ඉහළ ගොස් ඇත. ඊයේ දිනය කුළ පුද්ගලයින් 423 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව යාමත් සමග සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව ද පුද්ගලයින් 49684 ක් දක්වා ඉහළ ගියේ ය. ඊයේ දිනය තුළ මෙරටින් කොරෝනා මරණ 3ක් වාර්තා වීමත් සමග මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 283ක් දක්වා ඉහළ ගියේ ය. තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ කොරෝනා ආසාදිතයින් 8,463 දෙනෙකු පමණි. එම මරණ වාර්තා වී ඇත්තේ, මරදාන, කොළඹ 14 සහ පූජාපිටිය යන ප්‍රදේශවලිනි. මේ වනවිට ත්‍රිවිද හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 94 ක් තුළ පුද්ගලයින් 7,812 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින අතර ඊයේ (24) දිනය තුළ මෙරටදී සිදු කර ඇති PCR පරික්‍ෂණ සංඛ්‍යාව 17,523 කි.