ලක්ෂ 20කින් මිලියන 20ක ආදරය දිනූ ෂුක්රා..

ලක්ෂ 20කින් මිලියන 20ක ආදරය දිනූ ෂුක්රා..

by Chathurika Jayasundara 24-01-2021 | 1:45 PM

COLOMBO (News 1st) – ලැප්ටොප් එකක් ගන්න ‘සිරස ලක්ෂපති’ ආ ෂුක්රා මුනව්වර් මිලියන 2ක් ජයග්‍රහණය කර හමාර ය.

එය මේ වනවිට මුළු රටටම නොරහසකි. විශේෂත්වය වන්නේ ඇය අවුරුදු 17ක මුස්ලිම් දියණියක වූවත්, සිංහල සාහිත්‍ය හා ඉතිහාසය මැනෙවින් ප්‍රගුණ කිරීමයි. ෂුක්රා මුනව්වර් ‘සිරස ලක්ෂපති’ දිනන්නේ අන්තර්ජාලයේ සැරිසරා ගත් දැනුමින් නොව පාසල් පුස්තකාලයේ ජීවත් වීම තුළින් වීම ද වි‌ශේෂත්වයකි. එක් අතකට ඇයට ලැප්ටොප් එකක් නොතිබීම ගැන ද සතුටු වෙමි. මන්ද යත්, ඇයට ලැප්ටොප් එකක් තිබුණා නම් අද මේ තත්ත්වය ඇයට මග හැරෙන්නට තිබුණි. ලැප්ටොප් එකක් තිබුණා නම්, ගුත්තිලය, සිංහබාහු, ටීකාපද නියත වශයෙන්ම නුඹට මග හැරේවී. සිංහබාහුගේ සිංහ සීවලී නුඹ වුණා නම් නුඹ ගල් ලෙනෙන් යන්නැතුව තාත්තා එනකල්ම ඉදීවී. සිංහබාහු නුඹට මුණ ගැසුණේ නුඹ පුස්තකාලයේ ලැඟුම් ගත් නිසා ය. ආගම, සාහිත්‍ය කන්න ද? යන්න ප්‍රශ්න නගන මිනිසුන්ට ඇය පිළිතුරු දී හමාරයි. ඇය කතා කරන්නේ, ගාල්ලට, දකුණට හෝ ලංකාවට නොව සමස්ත ලෝකවාසීන්ටය. ඇය මේ වනවිට ලෝකාභිමානයේ සංකේතය වී හමාරයි. භාෂා හැකියාව අවියකට වඩා තියුණු වන අතර ෂුක්රා ඇගේ භාෂාවෙන්, වචනෙන් මිලියන 20ක් වසග කර අවසන්ය. සිංහල භාෂාව අලංකාර ලෙස හැසිරවීමේ හැකියාව, ජාති ආගම් භේද අභිබවා ඇය පවසන මානව හිතවාදී අදහස් , ඇගේ වයසටත් වඩා එහා ගිය දැනුම අවබෝධය , සිංහල භාෂාව සාහිත්‍යය ඉතිහාසය පිළිබඳ දැනුම යනාදිය ඉදිරියේ ජනතාව ඇයට වශී වුණා කීම නිවැරැදි ය. ෂුක්රා නුඹ මලාලා වැනි ලෝකයට පණිවිඩයක් රැගෙන ගිය මහා චරිතයක් බවට පත්ව හමාරයි.

ඔබට අපගේ සුබ පැතුම්!..

ෂුක්රා මුනව්වර් සමග නිව්ස්ෆස්ට් කළ විශේෂ සාකච්ඡාව.. https://youtu.be/jtln12CgLM4