කොවිඩ් එන්නත් කිරීමේ කටයුතු ලබන සතියේ සිට

මෙරට කොවිඩ් එන්නත් කිරීමේ කටයුතු ලබන සතියේ සිට - සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ

by Staff writer 24-01-2021 | 8:43 PM

COLOMBO (News 1st) - ඉන්දියාවේ නිෂ්පාදිත ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා - සෙනෙකා එන්නත් ලබන බදාදා දිවයිනට රැගෙන ඒමෙන් පසු , එන්නත් කිරීමේ ක්‍රියාවලිය කඩිනමින් ආරම්භ කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අංශ පවසයි.

කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කළේ ලබන සතිය තුළම එම කටයුතු සිදුවන බවයි. පළමුවෙන් එන්නත් ලබා දෙන්නේ ආසාදිතයින් සම්බන්ධ ඉදිරි පෙළ කටයුතුවල නිරත සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සහ ත්‍රිවිධ හමුදාව ඇතුළු පිරිස් සඳහායි. ජනතාවට ද ඉතා ඉක්මණින් එන්නත ලබාදීමට කටයුතු සුදානම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය. ඉන්දියාවේ නිෂ්පාදිත ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා - සෙනෙකා එන්නත් වලට මේ වනවිට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය හිමිව ඇති අතර රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් 5 එන්නත සඳහාද රජය එම අධිකාරියෙන් අනුමැතිය ඉල්ලා තිබේ. රජය වෙනුවෙන් එම රුසියානු එන්නත සම්බන්ධයෙන් කටයුතු කරන්නේ රාජ්‍ය ඖෂධ නීතීගත සංස්ථාවයි. එම සංස්ථාව රුසියානු ස්පුට්නික් 5 එන්නත මෙරට හදිසි භාවිතය සඳහා ලියාපදිංචි කිරීමට අදාළ ලියකියවිලි ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙත පසුගිය 8 වැනිදා ඉදිරිපත් කර තිබුණා. එම අධිකාරිය පසුගිය සිකුරාදා රුසියානු එන්නත සම්බන්ධයෙන් තවදුරටත් පැහැදිලි කිරීම් අවශ්‍ය යැයි දැනුම් දුන් බව රාජ්‍ය ඖෂධ නීතීගත සංස්ථාව ප්‍රකාශ කළේය. ඒ අනුව රුසියාවේ නිෂ්පාදන ආයතනයත්, රාජ්‍ය ඖෂධ නීතීගත සංස්ථාව හා ජාතික ඖෂධ නියාමන අධිකාරියත්, හෙට ඔන්ලයින් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය. මේ අතර සිනෝෆාම් එන්නත මෙරටට ලබාගැනීම සඳහා මේවනවිට චීනය සමග සාකච්ඡා කරමින් සිටින බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අප සමග පැවසුවේය. ඔහු සඳහන් කළේ එම එන්නත ආධාරයක් ලෙස ලැබෙනු ඇතැයි විශ්වාස කරන බවයි. රුසියාවේ ස්පුට්නික් 5 එන්නත සම්බන්ධ සාකච්ඡා බෝහෝ දුරට අවසන්ව ඇති බවත් ෆයිසර් බයො එන්ටෙක් එන්නත ලබා ගැනීම සම්බන්ධයෙන්ද සාකච්ඡා පැවැත්වෙන බවත්, රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.