නැණ පහන දල්වා නිවී ගිය මිණි පහන..

නැණ පහන දල්වා නිවී ගිය මිණි පහන, කලාකීර්ති එඩ්වින් ආරියදාසයන්..

by Chathurika Jayasundara 23-01-2021 | 5:02 PM

COLOMBO (News 1st) – ''ඇවිදින පුස්තකාලය'' යන විරුදාවලිය ලත් එඩ්වින් ආරියදාස මහතා ඊයේ (22) අභාවප්‍රාප්ත විය.

ජන සන්නිවේදන ක්ෂේත්‍රයේ ප්‍රවීණ ක්‍රියාධරයෙකු හා දේශකයෙකු වූ කලා කීර්ති එඩ්වින් ආරියදාස මහතා මිය යනවිට 98 වැනි වියේ පසු වූ අතර ඔහු සිය 98 වැනි උපන්දිනය සමරනු ලැබූයේ ද පසුගිය දෙසැම්බර් 03 වැනිදා ය. ආරියදාස මහතා ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියෙකු, සිනමා විචාරකයෙකු, මාධ්‍යවේදියෙකු , ගුරුවරයෙකු මෙන්ම වියතෙකු ලෙස ජනාදරයට පත් සුවිශේෂී පුද්ගලයෙකි. 1922 දෙසැම්බර් 03වැනිදා ගාල්ල, උණවටුනේ උපන් එඩ්වින් ආරියදාස ද්විතීක අධ්‍යාපනය ලැබීම සඳහා ගාල්ලේ මහින්ද මහා විද්‍යාලයට පිවිසුණ අතර එහිදී ඔහු සිය සහජ හැකියාවන් ඔප් නංවා ගනිමින් මහින්දයේ කැපී පෙනෙන සිසුවෙකු බවට පත්විය. ලාංකීය ජනසන්නිවේදන ක්ෂේත්‍රයේ කඩඉම් අවස්ථා රැසකට මංපෙත් හෙළි කරමින් ආරියදාසයන් 1949දී ලේක්හවුස් ආයතනයේ නව රැකියාවක් ඇරඹී ය. දිනමිණ පුවත්පතේ උපකර්තෘ ධුරයක් හොබවමින් ජනමාධ්‍ය ඔස්සේ නව වෘත්තීය ජීවිතයක් ඇරඹි මාධ්‍යවේදී එඩ්වින් ආරියදාසයන් ලේක් හවුස් ආයතනයේ ස්වරණමය යුගය බබළවමින් පුවත්පත රැසකටම සිය දායකත්වය ලබා දුන්නේය. මාධ්‍යවේදියෙකු ලෙස ඉතා කෙටි කලක් තුළ එඩ්වින් ආරියදාස යන නාමය සමාජගත වීමට බලපෑ ප්‍රබල සාධකයක් වූයේ ඔහු සතුව සිංහල සහ ඉංග්‍රීසි යන භාෂා ද්විත්වයම මැනවින් හැසිරවීමේ ශක්‍යතාවය පැවතීමත්, නිරන්තරව අලුත්වන ලෝක දැනුම පිළිබඳව පැවති තියුණු සවිඥාණකත්වයයි. ඒ අතර ධම්ම පදය ඉංග්‍රීසි බසට පරිවර්තනය කිරීම, සිංහල සහ ඉංග්‍රීසී භාෂා පිළිබඳ ප්‍රවීණයෙකු වූ එඩ්වින් ආරියදාස මහතාගේ ලේඛන දිවියේ සංධිස්ථානයකි. ඒ හරහා බෞද්ධ සාහිත්‍ය ඉංග්‍රීසිය වෙත රැගෙන යාම හැකි විය. එඩ්වින් ආරියදාසයන්ගේ මාධ්‍ය ජීවිතය ලාංකීය ජනසන්නිවේදන ක්ෂේත්‍රයේ කඩඉමක් බවට පත්වීමට ප්‍රබල සිදුවීමක් බලපෑවේ ය. ඒ , ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය සඳහා ජනසන්නිවේදන විෂය මාලාවක් සම්පාදනය කිරීමට මේ අසහාය ජනමාධ්‍යවේදියාට ආරාධනා ලැබීමයි. වර්තමානයේදී තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයෙහි ප්‍රමුඛතම වචනය බවට පත්ව තිබෙන අන්තර්ජාලය සිනමා සහ රූපවාහිනී මාධ්‍යයන්හි භාවිත කෙරෙන මාධ්‍ය රූප සහ සජීවීකරණ යන වචන පාරිභාෂිත ශබ්ද කෝෂයට එකතු කරනු ලැබුවේ මේ ශ්‍රේෂ්ඨ භාෂා විශාරදයාණන් විසිනි. විවිධ විෂයන් පිළිබඳ ප්‍රාමාණික උගතෙකු වූ එතුමන් විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය කේෂත්‍රයේ කළ විප්ලවීය වෙනස්කම් ජනසන්නිවේදන ඉතිහාසයේ ලියැවී ඇත්තේ රන් අකුරින් ය. සිරස මාධ්‍ය ජාලය ආරම්භ වූ දා පටන් සම්පත්දායකයෙකු, උපදේශකයෙකු මෙන්ම අනුශාසකවරයෙකු ලෙස ද ඒ මහතා එක්ව සිටියේ ය. රටක් වටිනා මිනිසෙකු වෙමින් ඉටු කළ දැවැන්ත මෙහෙවරකින් පසු නික්ම ගිය ඇඳුරුතුමනි, ඔබට නිවන් සුව !..