දිල්රුවන්ගේ ඉවසීමෙන් ශ්‍රී ලංකා පළමු ඉනිම ගොඩ යයි

දිල්රුවන්ගේ සටන්කාමී ඉනිමෙන් ශ්‍රී ලංකා පළමු ඉනිම ගොඩ යයි:දික්වැල්ලට මංගල ටෙස්ට් ශතකය අහිමි වෙයි

by Chathuranga Rajapaksha 23-01-2021 | 3:15 PM
COLOMBO (News 1st): ඇන්ජලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල, දිල්රුවන් පෙරේරා සහ දිනේෂ් චන්දිමාල්ගේ දක්ෂ පිතිහරඹය හේතුවෙන් ශ්‍රී ලංකාව සිය පළමු ඉනිමට ලකුණු 381ක් ලබා ගැනීමට සමත් විය. ගාල්ලේදී පැවැත්වෙන ශ්‍රී ලංකා - එංගලන්ත දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි. විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 110ක් ලබා ගත්තේය. සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන රමේෂ් මෙන්ඩිස් ලකුණු නොලබා පිටියෙන් ඉවත් විය. නිරෝෂන් දික්වැල්ල සහ දිල්රුවන් පෙරේරා අතර 7වන කඩුල්ලේ සබඳතාවය ලකුණු 89කි. දික්වැල්ලට සිය මංගල ටෙස්ට් ශතකය ලබා ගැනීමට තිබූ මහඟු අවස්ථාව අහිමි විය. දික්වැල්ල ලකුණු 92කට දැවී ගියේය. සුරංග ලක්මාල් ද ලකුණු නොලබා පිටියෙන් ඉවත් විය. අනතුරුව 9වෙනි කඩුල්ල වෙනුවෙන් දිල්රුවන් පෙරේරා සහ ලසිත් ඇඹුල්දෙණිය ලකුණු 32ක සටන්කාමී සබඳතාවයක් ගොඩනැංවීමට සමත් විය. ඇඹුල්දෙණිය ලකුණු 7කට දැවී ගියේය. ඉනිමේ අවසන් කඩුල්ල ලෙස දිල්රුවන් පෙරේරා ලකුණු 67කට දැවි ගියේය. දිල්රුවන් අද ලබා ගත්තේ, සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 7වන ටෙස්ට් අර්ධ ශතකයයි. දිල්රුවන්ගේ සටන්කාමී ඉවසිලිවන්ත ඉනිම ශ්‍රී ලංකාවට ලකුණු 350 සීමාව පසු කිරීමට මහත් රුකුලක් විය. දිනේෂ් චන්දිමාල් ලකුණු 52ක් ලබා ගත්තේය. පන්දු යැවීමේදී ජේම්ස් ඇන්ඩර්සන් ලකුණු 40කට කඩුලු 6ක් දවා ගැනිමට සමත් විය.