by Chathurika Jayasundara 23-01-2021 | 6:47 PM
COLOMBO (News 1st) – ඉතාලි ජාතිකයින්ගේ TikTok ගිණුම් අවහිර කරන ලෙස ඉතාලි රජය TikTok සමාගමෙන් ඉල්ලා සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ, වයස අවුරුදු 10 ක් වූ දැරියකගේ මරණයෙන් පසුවයි.
TikTokහි අභියෝගයකට මුහුණ දුන් දැරියක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති අතර මෙම සිදුවීම ඉතාලිය කම්පනයට පත් කළ සිද්ධියක් බව වාර්තා වේ.
Blackout ලෙස හඳුන්වන මෙම අභියෝගයේදී සිදුවන්නේ හුස්ම ගැනීමකින් තොරව සිටිමින් වීඩියෝ නිකුත් කිරීම වන අතර එම අභියෝගය මේ දිනවල TikTok හි අතිශය ජනප්‍රිය වේ.
දැරියගේ දෙමව්පියන් පවසා ඇත්තේ , ඇය එම අභියෝගයකට සහභාගී වී ඇති බවත්, ඇගේ බෙල්ලේ පටියක් තබා ඇගේ හුස්ම අල්ලාගෙන සිටින බවත් ය.
මෙම සිදුවීම සියදිවි නසාගැනීම් සඳහා පෙළඹවීම ඇති කරන්නක් ද යන්න පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
චීනයේ හිමිකාරීත්වය දරන TikTok ලොව පුරා වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතී.
වයස අවුරුදු 13 ට අඩු ළමුන්ට TikTok සඳහා පිවිසීමට තහනම් කර ඇතත් එම සීමාවන් මග හරිමින් කුඩා ළමුන් TikTok සඳහා ලියාපදිංචි වන බවත් ඉතාලි රජය නිවේදනය කරයි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මේ හේතුවෙන් අනන්‍යතාවය තහවුරු කර ගැනීමට නොහැකි සියලුම ඉතාලි පරීශීලකයින්ගේ TikTok ගිණුම් ලබන පෙබරවාරි 15 වන දා දක්වා අත්හිටුවා ඇති බව යි.