ගෙවුණු දිනයේ ආසාදිතයින් 887 අතර විදේශිකයෙකුත්

ගෙවුණු දිනයේ (21) කොරෝනා ආසාදිතයින් 887 අතර විදේශිකයෙකුත්

by Sagarika Chathumali 22-01-2021 | 11:06 AM

COLOMBO (News 1st) : ගෙවුණු දිනයේ (21) මෙරටින් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින්  887 දෙනෙකු හඳුනාගෙන ඇතැයි, කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

එම ආසාදිතයින් අතරින් 13 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ලාංකිකයින් ය. එක් විදේශිකයෙකු ද ඊයේ දිනයේ (21) ආසාදිතයෙකු ලෙස වාර්තා වී තිබේ. ඉතිරි ආසාදිතයින් 873 දෙනා දේශීයව හඳුනාගෙන ඇති අතර ඉන්  වැඩිම පිරිස කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 337කි. ඊට අමතරව, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 136 ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 71 ක් ලෙස වාර්තා වී තිබේ. අනෙක් ආසාදිතයින් වාර්තා වී ඇත්තේ, දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලිනි. අද (22) උදෑසන වනවිට මෙරට  සම්පූර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 56,076 ක් ලෙස සටහන්ව ඇති අතර  ආසාදිතයින් 7,816 දෙනෙක් තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටිති. ඊයේ දිනයේ පුද්ගලයින් 769 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව යාමත් සමග මෙටර සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව ද  47 984ක් දක්වා ඉහළ ගියේ ය. පසුගිය පැය 24 තුළ මෙරටින් කොරෝනා මරණ 2 ක් වාර්තා වී ඇති අතර එම මරණ වාර්තා වී ඇත්තේ, අතුරුගිරිය සහ පෑලියගොඩ ප්‍රදේශවලිනි. ඒ අනුව මෙරට කොවිඩ් - 19 ආසාදිත සම්පුර්ණ මරණ සංඛ්‍යාව 276 ක් දක්වා ඉහළ ගියේ ය. අද උදෑසන වන විට විදෙස් රටවල සිට ලාංකිකයින් රැසක් මෙරටට පැමිණ ඇති අතර අද දිනයේත් තවත් පිරිසක් පැමිණීමට නියමිතව ඇත. ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ, එසේ පැමිණෙන සියලු පුද්ගලයින් ත්‍රිවිද හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට කටයුතු සූදානම් කර ඇති බවයි. මේ වනවිට නිරෝධායන මධ්‍යස්ථාන 91 ක් තුළ පුද්ගලයින් 8,173 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින අතර ඊයේ (21) දිනයේ මෙරටදී සිදු කර ඇති PCR පරික්‍ෂණ සංඛ්‍යාව 16,108 කි.