සෞඛ්‍ය නිලධාරීන්ට කෙළගැසීම:වසර 6ක සිර දඬුවම්

අටලුගමදී සෞඛ්‍ය නිලධාරීන්ට කෙළ ගැසූ පුද්ගලයාට වසර 6 ක සිර දඬුවම්..

by Staff writer 21-01-2021 | 8:07 PM

COLOMBO (News 1st) - පසුගිය දෙසැම්බර් 02 වැනි දා බණ්ඩාරගම, අටලුගමදී සෞඛ්‍ය නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් කෙළ ගැසූ පුද්ගලයාට වසර 6ක සිර දඬුවමක් පනවා තිබේ.

කොවිඩ් ආසාදිතව සිටි 56 හැවිරිදි මෙම පුද්ගලයාට, ප්‍රතිකාර කිරීමෙන් පසු පොලීසිය විසින් පානදුර අධිකරණයේ දී නඩු පවරනු ලැබ තිබේ. රාජකාරියට බාධා කිරීම, සාපරාධී බලහත්කාරය පෑම, නිරෝධායන නීතියට අවනත නොවීම ආදී චෝදනා 8 ක් හමුවේ ඔහුට නඩු පැවරූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය. ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, අදාළ නඩුව විභාගයේ දී එම පුද්ගලයා වරද පිළිගැනීම හේතුවෙන් චෝදනා තුනකට වසර දෙක බැගින් සිර දඬුවම් නියම වී ඇති බවයි. ඊට අමතරව රුපියල් 10000 ක දඩ මුදලක් ද පනවා ඇති අතර, අදාළ සෞඛ්‍ය නිලධාරීන් සිව්දෙනාට රුපියල් ලක්ෂය බැගින් ලක්ෂ 4 ක මුදලක් ගෙවීමට ද නියෝග කර තිබේ. එම ගෙවීම පැහැර හැරිය හොත් ඊට දඬුවම් විදීමට සිදුවන බවට ද අධිකරණයෙන් නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. කොවිඩ් සමය තුළ රාජ්‍ය නිලධාරීන්ට සහයෝගය දැක්වීම මහජනතාවගේ වගකීමක් බවත්, යම් පාර්ශවයක් ඉන් පරිබාහිරව කටයුතු කරන්නේ නම් නීත්‍යානූකූලව කටයුතු කිරීමට සිදුවන බවත් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.