පූනානී සිටි කොරෝනා රෝගියා ඇහැලියගොඩට ආ හැටි

පූනානීවලින් පැන්න කොරෝනා රෝගියා ඇහැලියගොඩට ආ හැටි

by Sagarika Chathumali 20-01-2021 | 12:58 PM

COLOMBO (News 1st) : මඩකලපුව, වාලච්චේන පූනානී කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් ඊයේ රාත්‍රියේ පලා ගිය කොරෝනා ආසාදිත පුද්ගලයා අද (20) පෙරවරුවේ ඇහැලියගොඩ, තොරණගොඩ ප්‍රදේශයේදී සෞඛ්‍ය අංශ භාරයට ගැනිණ.

මඩකලපුව, වාලච්චේන පූනානී කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් එලෙස ඊයේ රාත්‍රී එලෙස පැන ගොස් තිබුණේ, ඇහැලියගොඩ ආදගල පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු අද පෙරවරුවේ සිය නිවසට ආසන්න ප්‍රදේශයක සිටියදී පොලිසියේ මූලිකත්වයෙන් සෞඛ්‍ය අංශ භාරයට ගැනිණ. පොලිස් නිලධාරීන් සිදු කරන ප්‍රශ්න කිරීම්වලදී අදාළ අසාදිතයා පවසා ඇත්තේ, තමාට නින්ද නොයන නිසා එම මධ්‍යස්ථානයෙන් පළා ආ බවයි. අදාළ ආසාදිතයා පූනානි සිට කොළඹ එන එළවළු ලොරියක නැග පැමිණ ඇති අතර අලුත් පාලම අසලදී ඉන් බස තිබේ. එතැන් සිට ඔහු ඔරුගොඩවත්ත තෙක් පයින් පැමිණ ඇති අතර අඹිලිපිටියට යන කඩවලට භාණ්ඩ ප්‍රවාහනය කරන ලොරි රථයක නැග ඇහැළිය ගොඩට පැමිණ ඇත. පොලිසිය පැවසුවේ පසුගිය 15 වන දා මෙම පුද්ගලයා කොවිඩ් ආසාදිතයෙකු බවට තහවුරු වීමෙන් පසු වාලච්චේන පූනානී කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයට යොමු කර ඇති බවයි. මත්ද්‍රව්‍යට දැඩි ලෙස ඇබ්බැහි වූ අයෙකු වන මොහුට එරෙහිව නිරෝධායන නීතිවලට අනුකූලව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිසිය පැවසී ය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේ, යම් අයෙකු මෙවැනි වරදකට වරදකරු වුවහොත් මාස 6ක සිරඳඩුවමකට සේම රුපියල් 10,000ක දඩයකට ද යටත් කිරීමට අධිකරණයට හැකියාවක් ඇති බවයි.