MTV ආයතනයට එරෙහි ජෝර්ජ් ස්ටුවට් හෙල්ත් නඩුව

MTV ආයතනයට එරෙහි නඩුව කොළඹ දිසා විනිසුරු ඉදිරියේ විමසීමට ජෝර්ජ් ස්ටුවට් හෙල්ත් සමාගමේ නීතිඥයා එකඟ වෙයි

by Staff writer 18-01-2021 | 8:41 PM

COLOMBO (News 1st) : MTV චැනල් පුද්ගලික සමාගමට එරෙහිව ගොනු කළ අපහාස නඩුව කොළඹ දිසා විනිසුරු රෂාන්ත ගොඩවෙල මහතා ඉදිරියේ විමසීමට නඩුවේ පැමිණිලිකාර පාර්ශවය වන ජෝර්ජ් ස්ටුවට් හෙල්ත් පුද්ගලික සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අද තම එකඟතාව පළ කළේ ය.

පසුගිය 13 වැනිදා මෙම නඩුව කොළඹ අතිරේක දිසා විනිසුරු සඳුන් විතානගේ මහතා ඉදිරියේ දිසා අධිකරණ අංක 06 දී කැඳවනු ලැබූ අවස්ථාවේදී ඔහු එම නඩුව විමසීම ප්‍රතික්ෂේප කළේ ය. එදිනම දිසා අධිකරණ අංක එකේ දිසා විනිසුරු රෂාන්ත ගොඩවෙල මහතා ඉදිරියේ නඩුව විමසීමට ගත් අවස්ථාවේ ජෝර්ජ් ස්ටුවට් හෙල්ත් පුද්ගලික සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා එදින අධිකරණයෙන් අයැද සිටියේ තම සේවා දායකයාගෙන් උපදෙස් ලබා ගත යුතු බැවින් නඩුව කල් තබන ලෙසය. මෙම මස 08 වැනිදා කැඳවූ අවස්ථාවේදී ජෝර්ජ් ස්ටුවට් හෙල්ත් පුද්ගලික සමාගම විසින් ගොනුකර තිබූ මෝසම සහා දිවුරුම් ප්‍රකාශයට එරෙහිව තම විරෝධය ප්‍රකාශ කළ කරන බව නඩුව අද විමසීමට ගත් අවස්ථාවේ MTV චැනල් පුද්ගලික සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මහතා අධිකරණයට දන්වා සිටියේ ය. ඔහු පෙන්වා දුන්නේ, අදාළ මෝසම සහා දිවුරුම් ප්‍රකාශය සිවිල් නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදනවලට පටහැනි බැවින් එම මෝසම හා ඒ සමග ජෝර්ජ් ස්ටුවට් හෙල්ත් පුද්ගලික සමාගම අධිකරණයට යොමු කළ සියලුම ලිපි ලේඛන ප්‍රතික්ෂේප කළ යුතු බවයි. මෙම නඩුව විමසීමට ගන්නා අවස්ථාවේ මෙයට විරුද්ධ වීමට ඇති අයිතිය රඳවා තබා ගැනීමට MTV චැනල් පුද්ගලික සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය. ඔහුගේ ඉල්ලීමට අධිකරණයෙන් අවසර ලැබුණි. ඒ අනුව අතුරු තහනම් නියෝගය පිළිබඳ විමසීම පෙබරවාරි 08 වැනිදාට දින නියම කළේ ය. අධිකරණය පනවා ඇති වාරණ නියෝගය ද පෙබරවාරි 08 වැනිදා දක්වා දීර්ඝ කෙරිණි.