ලංකාව ටෙස්ට් ලෝක ශූරතාවලියේ 7වැනි තැනට වැටෙයි

ශ්‍රී ලංකාවට එරෙහිව අඛණ්ඩ 5වන ටෙස්ට් තරග ජයත් එංගලන්තය වාර්තා කරයි

by Chathuranga Rajapaksha 18-01-2021 | 11:16 AM
COLOMBO (News 1st): ශ්‍රී ලංකාවට එරෙහිව අඛණ්ඩ 5වන ටෙස්ට් තරග ජයත් වාර්තා කිරීමට එංගලන්තය අද සමත් විය. ඒ, ශ්‍රී ලංකාව සමග පැවති පළමු ටෙස්ට් තරගයෙන් කඩුලු 7ක ජයක් ලබා ගැනීමත් සමගිනි. එම ජයග්‍රහණයන් මෙසේය. ගාල්ලේදී පැවති තරගයේ 5වැනි දිනයට අද තරගය ආරම්භ කරන විට ජයග්‍රහණය සඳහා ලකුණු 74ක ඉලක්කයක් හඹා ගිය එංගලන්තය කඩුලු 3ක් දැවී ලකුණු 38ක් රැස් කරගෙන සිටියේය. තරමක පීඩනයකින් එංගලන්ත පිතිකරුවන් අද උදෑසන ඉනිම ආරම්භ කළත් ඔවුන් ජයග්‍රහණය කරා රැගෙන යාමට ජොනී බෙයාර්ස්ටෝව් සහ ඩෑන් ලෝරන්ස් අවසානයේ සමත් විය. ඒ අනුව තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙස එංගලන්තය මේ වනවිට ඉදිරියෙන් සිටී. මෙම තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය. ආබාධයක් හේතුවෙන් නිත්‍ය නායක දිමුත් කරුණාරත්න වෙනුවට ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවනු ලැබුවේ දිනේෂ් චන්දිමාල් විසිනි. දුර්වල පිතිහරඹයක් නිරත ශ්‍රී ලංකා පිතිකරුවන්ට සිය පළමු ඉනිමට ලබා ගත හැකි වූයේ ලකුණු 135ක් පමණි. මේ අතර ටෙස්ට් ක්‍රිකට් තරගවල අඛණ්ඩව සිව්වෙනි වරටත් ලකුණු නොලබා දැවී ගිය ශ්‍රී ලංකාවේ 3වන පිතිකරුවා බවට කුසල් මෙන්ඩිස් පත්විය. ඒ පළමු ඉනිමේදී ඔහු මුහුණදුන් දෙවන පන්දුවේදීම ලකුණු නොලබා පිටියෙන් ඉවත් විමත් සමගිනි. මීට පෙර එලෙස දැවී ගිය ලංකාවේ පිතිකරුවන් වන්නේ, 01.ගයි ඩි අල්විස් (1986-88) 02.නුවන් ප්‍රදීප් (2015) 03.නුවන් ප්‍රදීප් (2017) මෙලෙස ලකුණු නොලබා අඛණ්ඩ සිව් වතාවක් දැවී ගිය, පිතිකරු ලැයිස්තුවේ නොම්බර 1 සහ 6 අතර සිටින ක්‍රීඩකයින්ගේ ලැයිස්තුව මෙසේය. 01.පන්කාජ් රෝයි (ඉන්දියාව) 1952 එංගලන්තයට එරෙහිව 02.ලෝරි මිලර් (නවසීලන්තය) 1953-54 දකුණු අප්‍රිකාවට එරෙහිව 03.මාර්ක් වෝ (ඔස්ට්‍රේලියාව) 1992 ශ්‍රී ලංකාවට එරෙහිව 04.කුසල් මෙන්ඩිස් (ශ්‍රී ලංකාව) 2021 දකුණු අප්‍රිකාව සහ එංගලන්තයට එරෙහිව එංගලන්තය වෙනුවෙන් පන්දු යැවීමේදි ඩොම් බේස් කඩුලු 5ක් දවා ගත්තේය. එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිමට ලකුණු 421ක් ලබා ගැනිමට සමත් විය. විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ එංගලන්ත නායක ජෝ රූට් සිය ටෙස්ට් දිවියේ සිව්වැනි ද්විත්ව ශතකය වාර්තා කිරීමට සමත් විය. ඔහු ලකුණු 228ක් ලබා ගැනීමට සමත් විය. දිල්රුවන් පෙරේරා කඩුලු 4ක් දවා ගත්තේය. ලකුණු 286ක් පිටුපසින් සිට සිය දෙවන ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන ඉනිමට ලබාගත් ලකුණු ගණන 359කි. සිය දෙවන ටෙස්ට් ශතකය වාර්තා කළ ලහිරු තිරිමාන්න ලකුණු 11ක් ලබා ගත්තේය. කුසල් ජනිත් පෙරේරා ලකුණු 62ක් ලබා ගත්තේය. ලකුණු 74ක ජයග්‍රාහී ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි එංගලන්ත ඉනිමේ පළමු කඩුලු 3 ලකුණු 14ක් තුළ දැවී යාම විශේෂත්වයකි. ලසිත ඇඹුල්දෙණිය කඩුලු 2ක් ලබාගත් අතර එංගලන්ත නායක ජෝ රූට් එක් ලකුණකට දුවද්දී දැවී ගියේය. මෙම තරගයේ වීරයා සම්මානය ද්විත්ව ශතකයක් ලබා ලත් එංගලන්ත නායක ජෝ රූට්ට හිමිවිය. දෙරට අතර දෙවන සහ අවසන් ටෙස්ට් තරගය ලබන 22වැනිදා ගාල්ලේදී ආරම්භ වීමට නියමිතය. මෙම ටෙස්ට් තරගාවලිය අයි.සී.සී. ටෙස්ට් ලෝක ශූරතාවලියට සමගාමීව පැවත්වෙන මෙම තරගය එංගලන්තය ජය ගැනීමෙන් පසු ප්‍රසාද ලකුණු සටහන මෙසේය.