රුසියානු විපක්ෂ නායකයා ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට

ලෙඩ ඇඳේ සිටි රුසියානු විපක්ෂ නායකයා ගුවන්තොටුපොළේදී හදිස්සියේ අත්අඩංගුවට

by Staff writer 18-01-2021 | 7:41 AM

News 1st -  විෂක් ශරීරගත වීම හේතුවෙන් ජර්මනියේ ප්‍රතිකාර ලබමින් සිටි රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නි රුසියාවේ මොස්කව් ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, ඔහු ජර්මනියේ ප්‍රතිකාර ලබා යළි සිය රටට පැමිණි අවස්ථාවේදීය. කිසිදු පැහැදිළි කිරීමකින් තොරව පදනම් විරහිතව ඔහු අත්අඩංගුවට ගත් බව රුසියානු විපක්ෂ නායකවරයාගේ මාධ්‍ය ප්‍රකාශකවරිය ට්විටර් පණිවුඩයක් සටහන් කරමින් කියා සිටියා ය. පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නිට වස ලබා දී ඝාතනය කිරීමට උත්සහ දරා ඇතැයි ඇතැම් පාර්ශව රුසියානු ජනාධිපතිවරයාට චෝදනා කර තිබේ. ඒ, ඇලෙක්සි නවාල්නි, රුසියානු ජනාධිපති ව්ලැදීර් පූටීන්ගේ ප්‍රබල විවේචකයෙකු වීම පදනම් කර ගනිමිනි. රුසියානු විපක්ෂය ද මීට පෙර චෝදනා කළේ, රුසියානු ජනාධිපති වැලැදිම්ර් පුටින්ගේ නියෝගය පරිදි විපක්ෂ නායකයාට වස ලබා දී ඝාතනය කිරීමට උත්සාහ කළ බවයි. පදනමකින් තොරව එල්ල කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බව ඒ පිළිබඳ අදහස් දක්වමින් රුසියාව කියා සිටියේ ය. රුසියානු ජනාධිපතිවරයාගේ ප්‍රබල විවේචකයකු වන ඇලෙක්සි නවල්නි පසුගිය දා සර්බියාවේ සිට රුසියාව බලා ගුවන් ගමනක නිරත වී සිටින අතරතුර සිදු වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කෙරිණි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ප්‍රතිකාර සඳහා ජර්මනියේ රෝහලකට ඇතුළත් කළ රුසියානු විපක්ෂ නායකවරයා කෝමා තත්ත්වයේ පසු වූ බවයි.