කඩා දැමූ ස්මාරකය යළි හදන්න ඉන්දියාව මැදිහත්වෙලා

යාපනය සරසවියේ කඩා දැමූ ස්මාරකය යළි හදන්න ඉන්දියාව මැදිහත් වෙලා - හින්දු පුවත්පත හෙළි කරයි

by Staff writer 18-01-2021 | 9:56 PM

COLOMBO (News 1st) –  යාපනය විශ්වවිද්‍යාලය තුළ පිහිටි ස්මාරකයක් කඩා බිඳ දැමීමේ ප්‍රශ්නයට ඉන්දියාව මැදිහත් වූ බව හින්දු පුවත්පත අනාවරණය කරයි.

එම පුවත්පත වාර්තා කළේ, ස්මාරකය කඩා බිඳ දැමීමෙන් පසු දින ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වී මේ පිළිබඳව සාකච්ඡා කළ බවයි. ''ඉන්දීය මහකොමසාරිස්වරයා අගමැතිවරයා හමුවූ අතර ඔවුන් යාපනයේ ස්මාරකය පිළිබඳ ගැටලුව සාකච්ඡා කළා'' යනුවෙන් අග්‍රාමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මහතා උපුටා දක්වමින් හින්දු පුවත්පත වාර්තා කළේ ය. මෙම සිද්ධිය දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය තුළ විරෝධතා ඇතිවීමට හේතුවිය හැකි බව ඉන්දීය මහ කොමසාරිස්වරයා අග්‍රාමාත්‍යවරයාට පවසා ඇතැයි සති අන්ත සන්ඩේ ටයිම්ස් පුවත්පත අනාවරණය කර තිබුණි. එම පුවත්පත් වාර්තාවේ සඳහන් වූයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වහා ක්‍රියාත්මක වූ බවයි. යුද්ධයෙන් මියගිය සිසුන් හා සිවිල් වැසියන් අනුස්මරණය සඳහා යැයි කියමින් මුල්ලිවෙයික්කාල් අනුස්මරණ ස්මාරකය නමින් හැදින්වූ යාපනය විශ්වවිද්‍යාලය තුළ තිබූ ඉදි කිරීම පසුගිය 08 වැනිදා රාත්‍රියේ කඩා ඉවත් කළේ ය. ඊට දින දෙකකට පසුව විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාම පැමිණ ස්මාරකය යළි ඉදිකිරීම සඳහා මුල්ගල් තැබුවේ ය.