කොරෝනා ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ මෙන්න...

ගෙවුණු දිනයේ කොරෝනා ආසාදිතයින් වාර්තා වූ දිස්ත්‍රික්ක හා ප්‍රදේශ...

by Sagarika Chathumali 18-01-2021 | 8:47 AM

COLOMBO (News 1st) : ගෙවුණු දිනයේ මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 763 දෙනෙකු හඳුනා ගැනීමත් සමග සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 53,062ක් දක්වා ඉහළ ගියේ ය .

  කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයට අනුව එලෙස හඳුනා ගෙන ඇති ආසාදිතයින් අතරින් 749 දෛනකු දේශීයව හඳුනා ගෙන ඇති අතර ඉතිරි පුද්ගලයින් 14 දෙනා හඳුනා ගෙන ඇත්තේ, විදෙස්ගතව සිට පැමිණි ලාංකිකයින් අතරිනි. ඊයේ (17) වැඩිම ආසාදිතයින් පිරිස වන ආසාදිතයින් 241 දෙනා කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ මේ දක්වා සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව විසිඑක් දහස ඉක්මවා ගියේ ය. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 210 දෙනෙකු හඳුනා ගෙන ඇති අතර ඊළඟට වැඩිම ආසාදිතයින් වන ආසාදිතයින් 41 දෙනා වාර්තා වී ඇත්තේ මාතර දිස්ත්‍රික්කයෙනි. ඉතිරි ආසාදිතයින් 257 දෙනා සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වී ඇත. තව ද ගෙවුණු පැය 24 තුළ දිස්ත්‍රික්ක 8කින් කිසිදු ආසාදිතයෙකු වාර්තා නොවීම ද විශේෂත්වයකි. කොළඹ වැඩිම ආසාදිතයින් පිරිස මට්ටක්කුලියෙන් වාර්තාවී ඇති අතර එම සංඛ්‍යාව 51කි. ගම්පහ වැඩිිම ආසාදිතයින් පිරිස වන ආසාදිතයින් 40 දෙනා වාර්තා වී ඇත්තේ, මීගමුවෙනි. මාතර , අකුරැස්සෙන් වාර්තාවී ඇති ආසාදිතයින් ගණන 25කි.   පසුගිය පැය 24 තුළ පූර්ණ සුවය ලබා පුද්ගලයින් 425 දෙනෙකු රෝහල්වලින් පිටව යාමත් සමග මෙරට සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 45, 171 ක් දක්වා ඉහළ ගියේ ය. තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ, ආසාදිතයින් 7627 දෙනෙකු පමණි. ඊයේ දිනයේ මරටින් කොරෝනා මරණ 8ක් වාර්තා වීමත් සමග සමස්ත මරණ සංඛ්‍යාව 264 ක් දක්වා ඉහළ ගියේ ය. ගෙවුණු දිනයේ මරණ 8 කොලොන්නාව, බොරැල්ල, උඩුපුස්සැල්ලාව, කෑගල්ල, දෙහිවල , පොළොන්නරුව, කොළඹ 8 සහ උඩුදුම්බර යන ප්‍රදේශවලින් වාර්තා වී තිබූ අතර මරණකරුවන් අතර අවුරුදු 27ක් වයැසති පිරිමි පුද්ගලයෙකු ද වේ. අද උදෑසන වන විට විදෙස් රටවල සිට ලාංකිකයින් 104 දෙනෙකු මෙරටට පැමිණ ඇති අතර තවත් ලාංකිකයින් 324 දෙනෙකු පැමිණීමට නියමිතව ඇත. කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ, එලෙස පැමිණි සහ පැමිණෙන සියලු දෙනා ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කරනු ලබන බවයි. අද වනවිට නිරෝධායන මධ්‍යස්ථාන 83ක් තුළ පුද්ගලයින් 7, 173 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින අතර ඊයේ දිනය තුළ මෙරටදී PCR පරීක්ෂණ 15, 218ක් සිදු කර තිබේ.