ගෙවුණු දිනයේ වැඩිම ආසාදිතයින් ගම්පහින්..

Covid19: ගෙවුණු දිනයේ වැඩිම ආසාදිතයින් ගම්පහින්..

by Chathurika Jayasundara 17-01-2021 | 1:00 PM

COLOMBO (News 1st) – අද (17) උදෑසන වන විට මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 719 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදතයින් සංඛ්‍යාව 52, 312 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයට අනුව ඉන් පුද්ගලයින් 04 දෙනෙකු විදෙස්ගතව සිට මෙරටට පැමිණි අය වේ . ඉතිරි ආසාදිතයින් 715 දෙනා දේශීයව හඳුනා ගත් ආශ්‍රිතයින් වේ. හඳුනාගත් කොරෝනා ආසාදිතයින් අතරින් වැඩිම පිරිසක් වාර්තා වන්නේ , ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 182 කි. ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 152 ක් සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 75 ක් වාර්තා වී තිබේ. ඉතිරි ආසාදිතයින් 306 වාර්තා වී ඇත්තේ සෙසු දිස්ත්‍රික්කවලිනි. අද (17) උදෑසන වනවිට මිනුවන්ගොඩ ඇඟළුම් කම්හලෙන් හා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ කොරෝනා ආසාදතයින් සංඛ්‍යාව 48,503 කි. ඉන් පුද්ගලයින් 41,988 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ. මේ වනවිට මෙරට සමස්ත කොරෝනා ආසාදතයින් සංඛ්‍යාව 52, 312 ක් වන අතර ඉන් 44,745 දෙනෙකු සුවය ලබා රෝහලින් පිටව ගොස් ඇත. තවත් 7,311 දෙනෙකු රෝහල් හා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල තවදුරටත් ප්‍රතිකාර ලබයි. ගත වූ පැය 24 තුළ එක් පුද්ගලයෙකු කොරෝනා ආසාදිතව මියගොස් ඇති අතර මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 256 දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ දිනය තුළ PCR පරීක්ෂණ 13,681 සිදු කර ඇත.