දෙවන ටෙස්ට් තරගය වාර්තා කිරීමට මාධ්‍යවේදීන්ට අවසර

ශ්‍රී ලංකා - එංගලන්ත දෙවන ටෙස්ට් තරගය ක්‍රීඩාංගණයේ සිට වාර්තා කිරීමට මාධ්‍යවේදීන්ට අවසර

by Staff writer 17-01-2021 | 6:34 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය ක්‍රීඩාංගණයේ සිට ආවරණය සඳහා ක්‍රීඩා මාධ්‍යවේදීන්ට ඉඩ සලසන ලෙස ක්‍රීඩා අමාත්‍යවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබේ.

මෙය ආවරණය කිරීමට ක්‍රීඩා මාධ්‍යවේදීන්ට අවස්ථාවක් නොලැබුණු බව අප පසුගියදා පෙන්වා දුන්නේය. ද සන්ඩේ ටයිම්ස් පුවත්පතට අදහස් දක්වමින්, හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය මහතා පවසා ඇත්තේ මාධ්‍ය යනු ක්‍රීඩාවේ වැදගත් කොටස්කරුවෙකු වන අතර මාධ්‍යයට තරගය ආවරණය කිරීමට නොදීම ක්‍රිකට් ක්‍රීඩාවට කළු පැල්ලමක් බවයි. මාධ්‍යවේදීන්ට මෙම තරගය අවරණය කිරීමට අවස්ථාව නොලැබීම පිළිබඳව බොහෝ දෙනෙකු ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් විමසා තිබුණි. එහිදී අමාත්‍යවරයා සඳහන් කර තිබුණේ, එංගලන්ත ක්‍රිකට් ආයතනය මාධ්‍යවේදීන් එක් කර නොගන්නා ලෙස ඉල්ලීමක් කර අති බවයි. ඒ පිළිබඳව මෙරට ප්‍රවීණ පුවත්පත් ක්‍රීඩා වාර්තාකරුවෙකු වන රෙක්ස් ක්ලෙමන්ටයින් මහතා එංගලන්ත ක්‍රිකට් ආයතනයෙන් කර තිබු විමසීමකදී ඔවුන් සඳහන් කර ඇත්තේ එවැනි කිසිදු ඉල්ලීමක් තම ආයතනය සිදු කර නොමැති බවයි. එම තීරණයේ වගකීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සතු බව ද එංගලන්ත ක්‍රිකට් ආයතනය ක්ලෙමන්ටයින් මහතා වෙත සඳහන් කර තිබුණි. මේ ගැන දැනුවත් වීමෙන් පසු ක්‍රීඩා අමාත්‍යවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ට දන්වා ඇත්තේ දෙවැනි තරගය ආවරණයට ක්‍රීඩා මාධ්‍යවේදීන්ට ඉඩ සලසන ලෙසය. ශ්‍රී ලංකා - එංගලන්ත දෙවන ටෙස්ට් තරගය ලබන 22 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ විමට නියමිතය.