කටුවන මරණයට වගකිව යුත්තේ කවුද?

විදුලි සැර වැදී මියගිය කටුවන දෙදරු පියාගේ මරණයට වගකිව යුත්තේ කවුද?

by Staff writer 17-01-2021 | 4:53 PM

COLOMBO (News 1st) - හම්බන්තොට, කටුවන, හිඟුරකන්ද ප්‍රදේශයේ පුද්ගලයකු විදුලි සැර වැදී මියගොස් තිබේ.

එලෙස මියගොස් ඇත්තේ 35 හැවිරිදි දෙදරු පියෙකි . පොලීසිය සඳහන් කළේ, ඔහු සිය කැබ් රථය පිටුපසට ගැනීමේදී නිවසට විදුලිය ලබා ගැනීම සඳහා ඇද තිබූ විදුලි රැහැනේ ගැටී එය පළුදු වී විදුලි සැර වැදී ඇති බවයි. මෙම විදුලි රැහැන සවිකර තිබූ කණුව දිරාගොස් කඩා වැටීම හේතුවෙන් මීට පෙර ඉවත් කර ඇති අතර විදුලි රැහැන එම අවස්ථාව වනවිට ගසක අනාරක්ෂිත ලෙස ගැට ගසා තිබී ඇති බව පොලීසිය සඳහන් කළේ ය. මියගිය පුද්ගලයාගේ ඥාතීන් චෝදනා කරන්නේ, විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් ආධාරක කණු නොමැති බව පවසා විදුලි රැහැන නිවස අසළ ගසක ගැට ගසා තිබූ බවයි. එම අනාරක්ෂිතභාවය එම මරණයට හේතු වූ බව ඔවුන් පවසයි. මේ පිළිබදව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ඉංජිනේරු විජිත හේරත් මහතාගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පවත්වන බවයි. එහිදි වැරදිකරුවන් වන පුද්ගලයින්ට දැඩි දඬුවම් ලබා දෙන බව ද සභාපතිවරයා ප්‍රකාශ කළේ ය.