ලකුණු 74 ඉලක්කය එංගලන්තයට හිතන තරම් පහසු වේවිද?

ලකුණු 74 ජයග්‍රාහී ඉලක්කය එංගලන්තයට හිතන තරම් පහසු වේවිද?

by Chathuranga Rajapaksha 17-01-2021 | 7:16 PM
COLOMBO (News 1st): ශ්‍රී ලංකාවට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ජයග්‍රහණය සඳහා එංගලන්ත කණ්ඩායමට ලකුණු 74ක පහසු ඉලක්කයක් හිමිවිය. ඒ අනුව අද දිනය සඳහා තරගය නතර කරන විට එංගලන්තය කඩුලු 3ක් දැවී ලකුණු 38ක් රැස් කරගෙන සිටියේය. එංගලන්ත ඉනිමේ පළමු කඩුළු 3 ලකුණු 14ක් තුළ දැවී යාම විශේෂත්වයකි. ලසිත ඇඹුල්දෙණිය කඩුලු 2ක් ලබාගත් අතර එංගලන්ත නායක ජෝ රූට් එක් ලකුණකට දුවද්දී දැවී ගියේය. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගය අද සිව්වැනි දිනයට ආරම්භ කරන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2 ක් දැවී ලකුණු 156 ක් රැස් කර ගෙන සිටියේය. ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 359 ක් ලබා ගත්තේය. දෙවැනි ටෙස්ට් ශතකය වාර්තා කළ ලහිරු තිරිමාන්න ලකුණු 111 කට දැවී ගියේය. ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 71 ක් රැස් කළේය.