අමෙරිකාවට අනතුරු ඇඟවීමක්..

බයිඩ්න් දිවුරුම් දීම හමුවේ ප්‍රචණ්ඩකාරී තත්ත්වයක්..?

by Janitha Mendis 17-01-2021 | 12:10 PM

COLOMBO (News 1st ) : අමෙරිකාව තුළ ප්‍රචණ්ඩකාරී වාතාවරණයක් මේ සති අන්තයේ ඇති වනු ඇතැයි එරට ආරක්ෂක අංශ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

ඒ , අමෙරිකාවේ නව ජනපති ජෝ බයිඩ්න් දිව්රුම් දීමේ උත්සවය ලබන බදාදාට (20) යෙදී තිබීම හේතුවෙන් ය. ට්‍රම්ප් හිතවාදී ආධාරකරුවන් ප්‍රාන්ත අගනුවරවල් කේන්ද්‍ර කර ගනිමින් සන්නද්ධ පාගමන් පැවැත්විය හැකි යැයි , අමෙරිකාවේ එෆ්.බී. අයි. ආයතනය අනතුරු අඟවයි. ප්‍රචණ්ඩකාරී විරෝධතා ඇති වේ යැයි සලකා අවධානයෙන් සිටින ලෙස එරට ආරක්ෂක අංශ අමෙරිකාවේ ප්‍රාන්ත 50ටම අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. පසුගිය සතියේ ඇති වූ කලහකාරී තත්ත්වයන් වැළැක්වීමට ආරක්ෂක භටයන් විශාල වශයෙන් වොෂින්ටන් වෙත යවා තිබේ. මේ අතර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වොෂින්ටනය හැර යාමට සූදානම් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කෙසේ නමුත් ඒ බව නිල වශයෙන් ට්‍රම්ප්ගේ පාර්ශවයෙන් වාර්තා කර නොමැති අතර විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ , අමෙරිකාවේ නව ජනපති ජෝ බයිඩ්න් දිවුරුම් දීමට පෙර ට්‍රම්ප් වොෂින්ටනය හැර යන බව යි.