ඉන්දියාවේ ලක්ෂ 2කට පළමු දිනයේදී කොරෝනා එන්නත..

ඉන්දියාවේ ලක්ෂ 2කට පළමු දිනයේදී කොරෝනා එන්නත..

by Chathurika Jayasundara 17-01-2021 | 10:11 AM

COLOMBO (News 1st ) – කොවිඩ් මර්දන එන්නත් වැඩසටහන යටතේ පළමු දිනය තුළ ලක්ෂ 2 කට ආසන්න පිරිසකට එන්නත ලබා දීමට ඉන්දියාව සමත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව 191,000 ක පිරිසකට ඊයේ(16) දිනයේ කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබා දී තිබේ. ලොව දැවැන්තම එන්නත් වැඩසටහනක් ලෙස සැලකෙන මෙහිදි කොවිශීල්ඩ් සහ කොවැක්සින් එන්නත් ලබා දීම සිදු කෙරිණි. වසංගතයට එරෙහිව සටන් කිරීමට සෘජුවම සම්බන්ධ වන වෛද්‍යවරුන්, හෙදියන්, සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඇතුළු ආසාදන ඇතිවීමේ වැඩි අවදානමක් ඇති ක්‍රියාකාරකම්වල යෙදී සිටින අයට ප්‍රමුඛත්වය දෙමින් එන්නත් ලබා දී තිබේ. මේ අතර එන්නත් කිරීමේ මෙහෙයුම දියත් කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කියා සිටියේ, හදිසි භාවිතය සඳහා ඉවත් කර ඇති කොවැක්සින් පිළිබඳව කටකතා පැතිර යන බවයි. කොවිශීල්ඩ් සහ කොවැක්සින් යන එන්නත්හි දත්ත පිළිබඳව සෑහීමකට පත්ව ඉන්දියානු ඖෂධ පාලක ජනරාල් මේ සඳහා අනුමැතිය ලබා දී ඇති බවත් මෝදි පවසයි. එනිසා එම කටකතාවලින් ඈත්ව සිටින ලෙසත් අගමැති මෝදි ජනතාවගෙන් ඉල්ලා සිටියේ ය. 01. මහාරාෂ්ට්‍ ප්‍රාන්තයේ පළමු දිනය තුළ එන්නත් 28,000 ක් ලබා දීමට සැලසුම් කර තිබුණ ද ලබා දීමට හැකිවූයේ එන්නත් 18,328 ක් පමණි 02. දිල්ලි - ඉලක්කය 8,100 ක් , ලබා දීමට හැකිවූයේ එන්නත් 4,319 ක් 03. උත්තරා ප්‍රදේශ් - ඉලක්කය 31,700 ක් , ලබා දීමට හැකිවූයේ එන්නත් 21,291 ක් 04. බිහාර් - ඉලක්කය 30,000 ක් , ලබා දීමට හැකිවූයේ එන්නත් 18,169 ක් 05. තමිල්නාඩු - ඉලක්කය 16,600 ක් , ලබා දීමට හැකිවූයේ එන්නත් 2,945 ක් 06. ඇසෑම් - ඉලක්කය 6,499 ක් , ලබා දීමට හැකිවූයේ එන්නත් 3,528 ක් 07. රාජස්ථාන් - ඉලක්කය 16,700 ක් , ලබා දීමට හැකිවූයේ එන්නත් 9,279 ක් 08. කර්ණාටක - ඉලක්කය 24,300 ක් , ලබා දීමට හැකිවූයේ එන්නත් 13,594 ක් 09. තෙලගානා - ඉලක්කය 13,900 ක් , ලබා දීමට හැකිවූයේ එන්නත් 4,200 ක් 10. කේරළ - ඉලක්කය 13,330 ක් , ලබා දීමට හැකිවූයේ එන්නත් 8,062 ක් ඉන්දීය සෞඛ්‍ය අංශ මීට පෙර සැලසුම් කර තිබුණේ , පළමු දිනය තුළ සෞඛ්‍ය අංශයේ නිරත ලක්ෂ 3 ක පිරිසකට එන්නත ලබා දීමටයි. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, සියලු ප්‍රාන්ත ආවරණය වන පරිදි මධ්‍යස්ථාන 3,000 කට වැඩි සංඛ්‍යාව ඊයේ දිනයේ මෙම කොවිඩ් එන්නත් වැඩසටහන ක්‍රියාත්මක වූ බවයි.