ගෙවුණු දිනය:බස්නාහිරින් පසු වැඩිම ආසාදිතයින්  නුවර

Covid19: ගෙවුණු දිනයේ බස්නාහිර පළාතෙන් පසු වැඩිම ආසාදිතයින් මහනුවරින්..

by Sagarika Chathumali 16-01-2021 | 9:58 AM

COLOMBO (News 1st) - අද (16) උදෑසන වන විට මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 695 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදතයින් සංඛ්‍යාව 51,594ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයට අනුව ඉන් පුද්ගලයින් 8 දෙනෙකු විදෙස්ගතව සිට මෙරටට පැම්ණි ලාංකිකයින් වන අතර තවත් ආසාදිතයින් 4 දෙනෙකු හඳුනාගෙන ඇත්තේ, විදෙස් රටවල සිට මෙරටට පැමිණි විදේශිකයින් අතරිනි. ඉතිරි ආසාදිතයින් සියලු දෙනා වාර්තා වී ඇත්තේ දේශීයවයි. ගෙවුණු දිනයේ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 168කි. ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 147ක් සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 90ක් වාර්තා වී තිබේ. ඉතිරි ආසාදිතයින් වාර්තා වී ඇත්තේ සෙසු දිස්ත්‍රික්කවලිනි.   ⁣ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් පිරිස මීගමුවෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 41 කි. කොළඹ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වන ආසාදිතයින් 21 දෙනා මරදාන ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර අවිස්සාවේල්ලෙන් වාර්තා වී ඇති ආසාදිතයින් ගණන 15කි.     පසුගිය දිනයේ පූර්ණ සුවය ලබා පුද්ගලයින් 512ක් රෝහල්වලින් පිටව ගොස් ඇති අතර ඒ අනුව පූර්ණ සුවය ලැබු මෙරට ආසාදතයින් සංඛ්‍යාව 44259ක් දක්වා ඉහළ ගොස් තිබේ. තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 7080 දෙනෙකු පමණි. තව ද කොරෝනා ආසාදිත රෝගීන් 04දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමත් සමග මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව ද 255ක් දක්වා ඉහළ ගියේ ය. එම මරණ වාර්තා වී තිබුණේ, නාවලපිටිය, කොළඹ 15, කිරිබත්ගොඩ සහ කොළඹ 10 යන ප්‍රදේශවලිනි.   ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයට අනුව අද උදෑසන වනවිට විදෙස්ගත ලාංකිකයින් 208 දෙනෙකු මෙරටට පැම්ණ ඇති අතර අද දිනයේ තවත් 46 දෙනෙකු දිවයිනට පැමිණීමට නියමිතව ඇත. එලෙස පැමිණි සහ පැමිණෙන සියලු පුද්ගලයින් ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කරන බව ආදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය. මෙරට නිරෝධායන මධ්‍යස්ථාන 80ක් තුළ පුද්ගලයින් 6536 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින අතර ගෙවුණු දිනයේ (15) මෙරටදී සිදු කර ඇත PCR පරීක්ෂණ සංඛ්‍යාව 15,146කි.