නිවෙස් නිරෝධායනය ගැන පොලීසිය සීරුවෙන්..

නිවෙස් නිරෝධායනය ගැන සොයන්න අද සිට සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් කණ්ඩායමක්

by Staff writer 16-01-2021 | 12:01 PM
COLOMBO (News 1st): නිවෙස්ගත නිරෝධායනය නිසි පරිදි සිදුවන්නේදැයි සොයා බැලීමට අද(16) සිට විශේෂ කණ්ඩායම් යොදවන බව පොලීසිය පවසයි. ඒ අනුව සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් ඒ සඳහා යෙදවීමට පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. නිරෝධායන නීති කඩ කරන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය. දිවයින පුරා එක් 116,000 කට අධික සංඛ්‍යාවක් මේ වනවිට නිරෝධායනයට යොමු කර ඇති බව ද ඔහු සඳහන් කළේය. මේ අතර තවත් කොරොනා මරණ 4 ක් ඊයේ වාර්තා විය. ඒ සමග මෙරට කොරොනා මරණ සංඛ්‍යාව 255 දක්වා ඉහළ ගියේය. තවත් කොරොනා ආසාදිතයින් 683 දෙනෙකු ඊයේ හදුනා ගැනුණු අතර ඒ සමග මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 51,594 ක් දක්වා ඉහළ ගොස් තිබේ. වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 7,080කි. ආසාදිතයින් 512 දෙනෙකු ඊයේ සුවය ලැබීමත් සමග මෙරට කොරොනා වෛරසය සුවය ලැබු සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 44,259 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේය.