කොරෝනා එන්නත නොමිලේ දෙයි ද?

කොරෝනා එන්නත නොමිලේ දෙයි ද? - ඖෂධ සංස්ථාවේ සභාපති පිළිතුරු දෙයි

by Chathuranga Rajapaksha 15-01-2021 | 6:22 PM
COLOMBO (News 1st): කොරෝනා එන්නත ලබා දීමේ සම්පූර්ණ තීන්දුව ගනු ලබන්නේ වසංගත රෝග විද්‍යාඥ අංශය බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි. වසංගත රෝග විද්‍යාඥ අංශය දැනට තීරණය කර ඇත්තේ කොරෝනා එන්නත නොමිලේ ලබා දීමට බව ද විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේය. ඔහු මේ බව සඳහන් කළේ, කොරෝනා එන්නතක් ලංකාවට ගෙන්වීම සම්බන්ධයෙන් නිව්ස්ෆස්ට් කළ විමසීමකදී ය. ''මේ එන්නත ලබා දීමේදි සම්පූර්ණයෙන්ම ඒ තීන්දුව ගන්නේ අපේ වසංගත රෝග විද්‍යාඥ අංශය. ඒ අය දැනට තීරණය කරලා තියෙන පරිදි එන්නත ලබා දෙන්නේ නොමිලේ. එතකොට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෙය නොමිලේ ලබා දීමේදි මේ ආයතන හතරෙන්ම මේ එන්නත ලබා ගන්නවා. දැන් මේ ආයතන හතරෙන් ගන්න ඒන්නතේ මිල තීරණය වෙන්නේ මේක ජාත්‍යන්තර මිලක් තියෙනවා. ඒ ආයතන විසින් හැම රටකටම ලෝකේ ලබා දෙන්නේ එක මිලකට පමණයි. එතකොට ඒ මිලට අනුව තමයි අපිට මිලදී ගන්න වෙන්නේ. මිලදී ගත්තට පස්සේ අපි ඒ සියලුම දේ සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා දුන්නට පස්සේ, සෞඛ්‍ය අමාත්‍යාංශය තමයි මේක කොයි ආකාරයෙන්ද එන්නත් කරන්නේ කියන වැඩපිළිවෙළ කරන්නේ'' එන්නත ලබාදෙන ආකාරය පිළිබඳව ද විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා අදහස් පළ කළේය. ''සාමන්‍යයෙන් දැනට තියෙන පිළිගැනිමේ හැටියට විනාඩි 15ක් පමණ ඒ එන්නත ගන්න පුද්ගලයා රෝහලේ ඉන්න ඕනේ. ආසාත්මිකතා තියෙන කට්ටිය විනාඩි 30ක් ඉන්න ඕනේ. එතනින් පස්සේ බරපතල ප්‍රශ්නයක් නෑ. ඒ අයට ගෙදර යන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඇතිවන සංකූලතා අනුව ඉන්ජෙක්ෂන් එක ගහපු තැන රිදෙන එක ඇගට උණ ගතියක් දැනෙන එක මේ වගේ සුළු රෝග ලක්ෂණ තමයි තියෙන්නේ'' රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා කළ විශේෂ ප්‍රකාශය.. https://www.youtube.com/watch?v=bXS-eEVUJ9E&feature=youtu.be