නීතිඥ සංගමයෙන් ඇමති අලි සබ්රිට ලිපියක්

නීතිඥවරුන් පොලිස් දෙපාර්තමේන්තුවට අනුයුක්ත කිරීමේ අවශ්‍යතාව කුමක් ද? - නීතිඥ සංගමයෙන් අලි සබ්රිට ලිපියක්

by Staff writer 14-01-2021 | 9:25 PM

COLOMBO (News 1st) – නීතිඥවරුන් 150 දෙනෙකු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් ලෙස පොලිස් දෙපාර්තමේන්තුවට අනුයුක්ත කිරීමෙන් නීතිඥ වෘත්තියේ අභිමානයට හා ස්වාධීනත්වයට බලපෑම් ඇති කළ හැකි බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය අවධාරණය කර තිබේ.

අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතාට ලිපියක් යොමු කරමින් සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා පෙන්වා දී ඇත්තේ , මෙය ඉතා සුපරීක්ෂාකාරි ලෙස මෙන්ම සියලු පාර්ශව සමග සාකච්ඡා කිරීමෙන් පසුව කළ යුතු දෙයක් බවයි. මෙම තීරණයට අදාළව කිසිදු විමසීමක් සංගමය වෙත යොමු මෙතෙක් කර නොමැති බව ද ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා අධිකරණ අමාත්‍යවරයා වෙත සඳහන් කර තිබේ. ඔහු පවසන්නේ , මේ ආකාරයට නීතිඥවරුන් පොලිස් දෙපාර්තමේන්තුවට අනුයුක්ත කිරීමේ අවශ්‍යතාව කුමක් ද යන්න මුලින්ම වටහා ගත යුතු බවයි. නව නීති හඳුන්වා දීමට සහ පවත්නා නීති සංශෝධනය කිරීම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යවරයා ගෙන ඇති පියවර අගය කරන බව ද ශ්‍රී ලංකා නීතිඥ සංගමය සඳහන් කර තිබේ. පොලිස් දෙපාර්තමේන්තුවේ කටයුතු සඳහා නීතිඥවරුන්ගේ අවශ්‍යතාවක් ඇත්නම් කළ යුතුව තිබෙන්නේ, මුල් අවස්ථා අධිකරණ කටයුතු උදෙසා වෙනම නීති දෙපාර්තමේන්තුවක් සංස්ථාපනය කිරීම මෙහි සඳහන් ය. එය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ නොව නීතිපතිවරයාගේ අධීක්ෂණය යටතේ පැවැතිය යුතු බවත් වෙනම සේවයක් වශයෙන් සැලකිය යුතු බවත් උසස්වීම්, ස්ථාන මාරු සඳහා රීති සම්පාදනය විය යුතු අතර ශ්‍රේෂ්ඨාධිකරණ රීති ද ඔවුන්ට උපරිම මට්ටමෙන් අදාළ කරගත යුතු බවත් සභාපතිවරයා සඳහන් කර තිබේ. ඔහු පවසන්නේ ඇත්ත අවශ්‍යතාව වන්නේ දැනට පවත්නා නඩු කඩිනමින් අසා නිම කිරීම නම් නීතිඥවරුන් 150 දෙනෙකු මෙලෙස බඳවා ගැනීම වෙනුවට විකල්ප යෝජනා 6ක් ද ඉදිරිපත් කරන බවයි. මේ අනුව අදාළ තීරණය සම්බන්ධයෙන් මෙන්ම නීතිඥ වෘත්තියේ ආචාර ධර්ම සම්බන්ධයෙන් උද්ගත විය හැකි බලපෑම් පිළිබඳව ද සලකා බලන්නැයි ඉල්ලා සිටින බව ද මෙම ලිපියේ සඳහන් ය. මෙම කරුණු සම්බන්ධයෙන් ඕනෑම අවස්ථාවක සාකච්ඡාවකට සහභාගි වීමට සංගමයට හැකියාව ඇති අතර මේ පිළිබඳව අධිකරණ අමාත්‍යවරයා ක්ෂණික අවධානය යොමු කරනු ඇතැයි බලාපොරොත්තු වන බව ද ශ්‍රී ලංකා නීතිඥ සංගම් සභාපතිවරයා සඳහන් කර තිබේ.