ලක්වැසි ජනතාවට සෞභාග්‍ය උදා කිරීම තමාගේත් රජයේත් ඒකායන පරමාර්ථයයි – ජනපති

ලක්වැසි ජනතාවට සෞභාග්‍ය උදා කිරීම තමාගේත් රජයේත් ඒකායන පරමාර්ථයයි – ජනපති

ලක්වැසි ජනතාවට සෞභාග්‍ය උදා කිරීම තමාගේත් රජයේත් ඒකායන පරමාර්ථයයි – ජනපති

කර්තෘ Staff writer

14 Jan, 2021 | 6:19 am

COLOMBO (News 1st) – ජාති ආගම් භේදයකින් තොරව ලක්වැසි සියලු ජනතාවට සෞභාග්‍ය උදා කිරීම තමාගේත් රජයේත් ඒකායන පරමාර්ථය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

තෛපොංගල් දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිතුමා පැවසුවේ, ගොවිතැනෙන් ලැබෙන අග්‍රඵලය නම් වූ නැවුම් සහල්, කිරි හා මුසු කොට ඉතිරිවීමෙන් තමාටත්, තම පවුලටත්, රටටත් සහ සමස්ත ලෝකයාටත් සෞභාගය උදාවේවා යන්න දමිල ජනතාවගේ ප්‍රාර්ථනය බවයි.

කළගුණ දැක්වීම ශ්‍රී ලාංකේය සමාජයට අනන්‍ය වූ ලක්ෂණයක් බව පෙන්වා දෙන ජනාධිපතිතුමා, නෙළාගත් අස්වැන්නේ පළමු කොටස සූර්යයාට පුද කරන තෛපොංගල් උත්සවය සමාජයේ අනාදිමත් කලක සිට අගය කරන සාරධර්ම සංකේතවත් කරන බව ද සිය සුබ පැතුම් පණිවුඩයේ සඳහන් කර තිබේ.

මේ අතර නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ, නව වසරේ උදාව සමරන සියලුම දමිල ජනතාව සහ අනෙකුත් ජාතීන්ට තෛපොංගල් දින අර්ථයන් සිය ජීවිතවලට ළඟා කර ගැනීමෙන් අනාගත ශ්‍රී ලංකාව සෞභාග්‍යමත්, හා සාමකාමී දේශයක් ලෙස පෙරට ගෙන ආ හැකි බවයි.

ශ්‍රී ලංකාවේ සාමය හා සංහිඳියාව අධිෂ්ඨාන කරගත් ජාතික සංහිඳියාවේ දිනයක් බවට තෛයිපොංගල් දින උත්සවය පත්වනු දැකීම සැමගේ අපේක්ෂාව බව ද අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.

තෛයිපොංගල් දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ, වර්තමානයේ සොබා දහමට එරෙහිව යාමේ අනිටු පළ විපාක සමස්ත ලෝකයම භුක්ති විඳිමින් සිටින බවයි.

ලෝක ව්‍යසන රැසකට දොරගුළු විවිරකොට ඇත්තේ, මිනිසා විසින් ම බව ද විපක්ෂ නායකවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.

සොබාදහමට වඩ වඩාත් සමීප වීමේ අවශ්‍යතාව දැඩිව දැනෙමින් තිබෙන වකවානුවක සොබා දහම හා බැඳුණු තෛයිපොංගල් වැනි සංස්කෘතික උත්සව අවශ්‍යයෙන්ම වඩා අර්ථයක් එක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය නිවේදනයෙන් සඳහන් කර තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]