දෝෂාභියෝගයෙන් ට්‍රම්ප් පරදී..

ට්‍රම්ප් නෙරපීමට දෝෂාභියෝගය සම්මත කර ගනී..

by Staff writer 14-01-2021 | 6:55 AM

News 1st - අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට එරෙහිව පැවැත් වූ දෝෂාභියෝග ඡන්ද විමසීමෙන් ජනපතිවරයා පරාජය විය.

ඒ, ඡන්ද 232 ට 197 ක් ලෙසය. මන්ත්‍රීවරුන් 4 දෙනෙක් ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිටියහ. දෝෂාභියෝග ඡන්ද විමසීමේදී රිපබ්ලිකන් මන්ත්‍රීවරුන් 10 දෙනෙකු ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ඡන්දය භාවිත කළේ ය. අමෙරිකානු ඉතිහාසයේ ජනාධිපතිවරයකුට එරෙහිව දෙවරක්ම දෝෂාභියෝග යෝජනා ඉදිරිපත් කෙරුණු ප්‍රථම අවස්ථාව මෙයයි. කැපිටල් හිල් හෙවත් අමෙරිකානු පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට කඩා වැදුණු විරෝධතාකරුවන් උසිගැන්වීමේ චෝදනා මත මෙම දෝෂාභියෝගය ගොනු කෙරුණි. මින්පසු එම දෝෂාභියෝගය සෙනෙට් සභාව වෙත යොමු කෙරෙනු ඇති. කෙසේ වෙතත් එම කටයුතු ලබන 20 වැනි දා ට්‍රම්ප් ධුරයෙන් ඉවත් වූ පසු ක්‍රියාත්මක කෙරෙන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. ඩිමොක්‍රැටික් පක්ෂ දේශපාලනඥ නැන්සි පොලෝසි සඳහන් කළේ, අමෙරිකාවට පැහැදිලි තර්ජනයක් එල්ලකරන ට්‍රම්ප් අනිවාර්යයෙන්ම බලයෙන් ඉවත්විය යුතු බවයි. කෙසේවෙතත් මෙම දෝෂාභියෝගය, රටෙහි බෙදීම තවදුරටත් උත්සන්න කිරීමට හේතුවනු ඇතැයි රිපබ්ලිකන් මන්ත්‍රීවරුන් අනතුරු ඇඟවූහ. දෝෂාභියෝග ඡන්ද විමසීමෙන් සුළු වේලාවකට පසු ධවල මන්දිර ට්විටර් ගිණුමට වීඩියෝපටයක් නිකුත් කළ ඩොනල්ඩ් ට්‍රම්ප්, සිය ආධාරකරුවන් ක්‍රියාත්මක කළ කැපිටල් හිල් ප්‍රචණ්ඩ ක්‍රියා තරයේ හෙළා දුටුවේ ය. ඔහු අමෙරිකානුවන්ගෙන් ඉල්ලා සිටියේ, ආවේගශීලිත්වයෙන් මිදී එකම රටක පුරවැසියන් සේ එක්ව කටයුතු කරන ලෙසයි. තමාගේ සැබෑ ආධාරකරුවකුට කෙදිනකවත් දේශපාලන ප්‍රචණ්ඩත්වයේ නිරතවිය නොහැකි බව ද ඔහු සඳහන් කළේ ය.