නැගෙනහිර පර්යන්තය විකුණන්නේවත් බදු දෙන්නේවත් නැහැ

නැගෙනහිර පර්යන්තය විකුණන්නේවත් බදු දෙන්නේවත් නැහැ - ජනපති

by Staff writer 13-01-2021 | 5:08 PM

COLOMBO (News 1st) - කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකිණීම හෝ බදු දීම නොකරන බව ජනපති වරාය වෘත්තීය සමිති නියෝජිතයන්ට පවසා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ශ්‍රී ලංකා රජයට 51% අයිතිය සහ ඉතිරි 49% ඉන්දියාවේ අදානි සමාගමටත්, වෙනත් පාර්ශවයන්ටත් කොටස්කරුවන් වශයෙන් හවුල් විය හැකි ආයෝජනයක් ලෙස කොළඹ වරායේ නැගනෙහිර පර්යන්තය සංවර්ධනය කිරීම සැලසුම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව අනාවරණය කළේ, අද වරාය වෘත්තීය සමිති හමු වූ අවස්ථාවේදීය. වරාය වෘත්තීය සමිති 23 ක නියෝජිතයින් සහභාගි වූ මෙම සාකච්ඡාවට ආර්ථික පුනර්ජනීවනය පිළිබඳව ජනාධිපති කාර්යය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා ද සහභාගි විය. නැගෙනහිර පර්යන්ත සංවර්ධන ව්‍යාපෘතිය පිළිබඳව කිසිදු සැකයක් තබා නොගන්නැයි මෙහිදී අවධාරණය කර ඇති ජනාධිපතිවරයා සියලු වෘත්තීය සමිති නියෝජිතයින් එක්ව සිය යෝජනා සහ අදහස් ඉදිරිපත් කරන්නැයි සමිති ප්‍රධානීන්ට දැනුම් දී තිබේ. ජනාධිපතිවරයා පෙන්වාදී ඇත්තේ, පසුගිය රජය නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට විකිණීමට ගිවිස ගෙන තිබූ බවයි. එය විකිණීමෙන් පසු ජපානයෙන් ණයක් ගැනීමත්, එම මුදලින් ඉදිකිරීම් සඳහා වන උපකරණ මිලදී ගැනීමත් ගිවිසුමට ඇතුළත් වී තිබූ බව ද ජනාධිපතිවරයා මෙහිදී පවසා ඇත. ජනාධිපතිවරයා පෙන්වාදී ඇත්තේ, එම ගිවිසුම පිළිබඳව වත්මන් රජය ඉන්දියාව සමග කළ සාකච්ඡාවලින් පසුව 51% ක අයිතිය සහ පර්යන්තයේ පාලනය ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ තබා ගැනීමේ එකඟතාවට පැමිණීමට හැකි වූ බව යි. රට තුළ කෙරෙන ආයෝජන මගින් රටේ ස්වෛරීභාවයට හෝ ස්වාධීනත්වයට හෝ කිසිදු හානියක් වීමට තමා ඉඩ නොතබන බව ද ජනාධිපතිවරයා මෙම සාකච්ඡාවේදී අවධාරණය කර තිබේ. එම නිවේදනය පහතින්...